වෙළඳ නාමය

Bio‑Oil®


නිෂ්පාදන නාමය සහ ප්‍රමාණ

Skincare Oil (Natural) 25ml
Skincare Oil (Natural) 60ml
Skincare Oil (Natural) 125ml
Skincare Oil (Natural) 200ml


සුදුසු භාවිතය

කැළැල් සමේ අළුත් සහ පරණ කැළැල්වල පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි. ඇදීම් සලකුණු සමේ ඇදීම් සලකුණුවල පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි. එමෙන්ම සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩි දියුණු කර, ඇදීම් සලකුණු ඇතිවීමේ හැකියාව අඩු කරයි. සමේ වර්ණයේ අසමාකාර බව අසමාකාර වර්ණයක් සහිත සමෙහි පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි. වයස්ගත සම මුහුණේ සහ ශරීරයේ වියපත් වන සමේ පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි. විජලනය වූ සම සමේ තෙතමනය හානිවීම අඩු කර, විජලනය වූ සමේ පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි.


ස්වභාවය

ලා කහ පැහැති තෙලකි.


වට්ටෝරුව

ස්වාභාවික තෙල් මිශ්‍රණයකි.


අමුද්‍රව්‍ය

Glycine Soja Oil, Helianthus Annuus Seed Oil, Carthamus Tinctorius Seed Oil, Simmondsia Chinensis Seed Oil, Salvia Hispanica Seed Oil, Punica Granatum Seed Oil, Plukenetia Volubilis Seed Oil, Triticum Vulgare Germ Oil, Rosa Canina Fruit Oil, Calendula Officinalis Extract, Lavandula Angustifolia Oil, Rosmarinus Officinalis Leaf Oil, Anthemis Nobilis Flower Oil, Pogostemon Cablin Leaf Oil, Bisabolol, Tocopherol.


ස්වභාවික අමුද්‍රව්‍යවල විචලනය

Bio‑Oil® Skincare Oil (Natural) වල කාණ්ඩයෙන් කාණ්ඩයට වර්ණය, ගන්ධය සහ සංගතභාවය මඳ වශයෙන් වෙනස් විය හැක. මෙය කාලිකත්වය, පාංශු තත්ත්වයන්, සූර්‍යාලෝකයට නිරාවරණය වීම, බෝග අස්වැන්න, කාලගුණ රටා, උෂ්ණත්වය සහ වසරේ කාලය වැනි සාධක මත ස්වාභාවික අමුද්‍රව්‍යවල වර්ණයේ, ගන්ධයේ හෝ සංගතභාවයේ මඳ වශයෙන් සිදුවන අපේක්‍ෂිත සහ සාමාන්‍ය වෙනස්කම්වල ප්‍රතිඵලයකි.


ආරක්‍ෂණ තක්සේරුව

Bio‑Oil® Skincare Oil (Natural) සුදුසුකම් ලත් විෂ රසායනවේදියෙකු විසින් ආරක්‍ෂණ තක්සේරුවකට බඳුන් කර ඇති අතර, එය ගර්භණී හා කිරි දෙන මවුවරුන් සහ වයස අවුරුදු තුනට වැඩි ළමුන් ඇතුළු වැඩිහිටියන් සඳහා ආරක්‍ෂිතව භාවිත කිරීමට සුදුසු බවට වර්ග කර ඇත.


ස්වභාවිකත්ව සහතිකය

Bio‑Oil® Skincare Oil (Natural) ISO 16128 සහතිකය ලබා ඇති අතර එය 100% ක් ස්වභාවික ද්‍රව්‍යවලින් සහ 100% ස්වභාවික සම්භවයක් සහිත ද්‍රව්‍යවලින් නිපදවා ඇත.


කැළැල් සඳහා සායනික අත්හදා බැලීම

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය ව්‍යවහාරික චර්ම රෝග පර්යේෂණ සඳහා වූ Proderm ආයතනය, හැම්බර්ග්, ජර්මනිය. අරමුණ කැළැල්වල පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil (Natural) වල සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 40 දෙනෙක්. කැළැල්වල වයස: අලුතින් හටගත් සහ අවුරුදු 3 දක්වා වූ කැළැල්. කැළැල් පිහිටි ස්ථාන: විශාල සීරීම්, කැපුම් හෝ ශල්‍යකර්මීය කැළැල් සහිත මුහුණ හෝ ශරීරය. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65. ක්‍රමවේදය ඇගයුම්කරු අඥාත, සසම්භාවීකෘත රූපමය තක්සේරුව, විවෘත-ලක්‍ෂිත අධ්‍යයනය. රෝගියාගේ සහ නිරීක්‍ෂකයාගේ කැළැල් තක්සේරු පරිමාණය (POSAS) භාවිතයෙන් චර්ම රෝග විශේෂඥයෙකු විසින් පුද්ගලයින් ඇතුළත් කර ගැනීම සිදු කරන ලදී. නියමිත කැළල සහ ඒ අවට සම මත නිෂ්පාදනය ගල්වා මෘදු ලෙස රවුමට පිරිමදිමින් සම්බාහනය කරන ලද අතර, මෙය සති 8ක් පුරා දිනකට දෙවරක් සිදු කරන ලදී. නිෂ්පාදනය ගැල්වීම නියත කාල පරතරවලින් අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ නිෂ්පාදනයෙන් සමට ඇතිවන ඇති බලපෑම තක්සේරු කර බැලීම වන අතර, එය පරීක්‍ෂා කර බලන ලද්දේ මූලික අවස්ථාවේ සහ සති 2, 4 සහ 8 දී සිදු කළ POSAS ආධාරයෙනි. අධ්‍යයනය අවසානයේ වැඩිදුර විමර්ශනය කරන ලද පරාමිතීන් අතරට, පුහුණු තක්සේරුකරුවන් 6 දෙනෙකු හා සහභාගීන් විසින්ම ලබා දුන් සංවේද්‍ය ප්‍රතිඵලය පිළිබඳ රූපමය තක්සේරුව, සහ කැළැල් ඊට යාබදව ඇති සමේ වර්ණයෙන් අපගමනය වීම ( වර්ණමීටරයකින් මනිනු ලබන) ආදී මිනුම් ඇතුළත් විය. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) මගින් කැළැල්වල පෙනුම ඵලදායී ලෙස වැඩි දියුණු කරයි. සති 2කට පසුව, යොදාගත් පුද්ගලයින්ගෙන් 94%ක් තුළ POSAS හි සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් (OSAS සහ PSAS හි විෂයානුබද්ධ සහ පුද්ගලානුබද්ධ ඇගයීම් යන දෙකම සැලකිල්ලට ගනිමින්) පැහැදිලිව දැකගත හැකි විය. සති 8 කට පසු, යොදාගත් පුද්ගලයින්ගෙන් 100% ක්ම පැහැදිලි වැඩි දියුණුවක් පෙන්නුම් කළ අතර, එය සති 2 දී පෙන්වූ ප්‍රතිඵලය මෙන් දෙගුණයකට වඩා ඉහළ වැඩි දියුණුවකි. අධ්‍යයන කාලය පුරා POSS හි අඛණ්ඩ හා සැලකිය යුතු වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදී.


ඇදීම් සලකුණු සඳහා සායනික අත්හදා බැලීම

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය ව්‍යවහාරික චර්ම රෝග පර්යේෂණ සඳහා වූ Proderm ආයතනය, හැම්බර්ග්, ජර්මනිය. අරමුණ ඇදීම් සලකුණුවල පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil (Natural) වල සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 36 දෙනෙක්. ඇදීම් සලකුණු ඇතිවීමට හේතු: විවිධ හේතු (පශ්චාත් ගර්භණී සමය, බර වැඩිවීම, බර ඉසිලීම හෝ නව යොවුන් වියේ හදිසි වර්ධනය). ඇදීම් සලකුණු සහිත ස්ථාන: උදරය, දෑත්, කලවා සහ උකුල්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65. ක්‍රමවේදය ඇගයුම්කරු අඥාත, සසම්භාවී රූපමය තක්සේරුව, විවෘත-ලක්‍ෂිත අධ්‍යයනය. පුද්ගලයින් ඇතුළත් කිරීම වෛද්‍යවරයෙකු විසින් Mallol ලකුණුවලට අනුව සිදු කරන ලදී. නියමිත විලේඛය සහ ඒ අවට සම මත නිෂ්පාදනය ගල්වා මෘදු ලෙස රවුමට පිරිමදිමින් සම්බාහනය කරන ලද අතර, මෙය සති 8ක් පුරා දිනකට දෙවරක් සිදු කරන ලදී. නිෂ්පාදනය ගැල්වීම නියත කාල පරතරවලින් අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ නිෂ්පාදනයෙන් සමට ඇතිවන ඇති බලපෑම තක්සේරු කර බැලීම වන අතර, එය පරීක්‍ෂා කර බලන ලද්දේ මූලික අවස්ථාවේ සහ සති 2, 4 සහ 8 දී සිදු කළ රෝගියාගේ සහ නිරීක්‍ෂකයාගේ කැළැල් තක්සේරු පරිමාණය (POSAS) ආධාරයෙනි. අධ්‍යයනය අවසානයේ වැඩිදුර විමර්ශනය කරන ලද පරාමිතියක් වූයේ, පුහුණු තක්සේරුකරුවන් 6 දෙනෙකු හා සහභාගීන් විසින්ම ලබා දුන් සංවේද්‍ය ප්‍රතිඵලය පිළිබඳ රූපමය තක්සේරුව යි. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) මගින් ඇදීම් සලකුණුවල පෙනුම ඵලදායී ලෙස වැඩි දියුණු කරයි. සති 2කට පසුව, යොදාගත් පුද්ගලයින්ගෙන් 71%ක් තුළ POSAS හි සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් (OSAS සහ PSAS හි විෂයානුබද්ධ සහ පුද්ගලානුබද්ධ ඇගයීම් යන දෙකම සැලකිල්ලට ගනිමින්) පැහැදිලිව දැකගත හැකි විය. සති 8 කට පසු, යොදාගත් පුද්ගලයින්ගෙන් 97% ක්ම පැහැදිලි වැඩි දියුණුවක් පෙන්නුම් කළ අතර, එය සති 2 දී පෙන්වූ ප්‍රතිඵලය මෙන් 5 ගුණයකට වඩා ඉහළ වැඩි දියුණුවකි. අධ්‍යයන කාලය පුරා POSS හි අඛණ්ඩ හා සැලකිය යුතු වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදී.


සමේ වර්ණයේ අසමාකාර බව සඳහා සායනික අත්හදා බැලීම

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය Thomas J. Stephens & Associates, Inc., ටෙක්සාස්, ඇමරිකා එක්සත් ජනපදය. අරමුණ මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ (වියපත් වන) සමක් සහිත කාන්තාවන් විසින් භාවිත කරන විට, අසමාකාර වර්ණයක් සහ වර්ණ ලප සහිත සමේ පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil (Natural) වල සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ බවට සායනිකව නිර්ණය කළ, විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 64 දෙනෙක්. Bio‑Oil® Skincare Oil (Natural) මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයින් 32 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයින් 32 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 30-70. ක්‍රමවේදය සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයින් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදී. සති 16 ක් පුරා දිනකට දෙවරක් මුහුණේ සහ බෙල්ලේ නිෂ්පාදනය ගල්වන ලදී. මූලික අවස්ථාවේ දී නිෂ්පාදනය ගැල්වීම අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. 0, 2, 4 සහ 16 සතිවල දී සායනික ඇගයීම් සිදු කෙරිණි. යොදාගත් පුද්ගලයින්ගේ මුහුණේ සහ බෙල්ලේ සමෙහි අසමාකාර වර්ණය සහ වර්ණ ලප සඳහා සායනිකව ශ්‍රේණිගත කරන ලදී. එක් එක් පුද්ගලයාගේ මුහුණේ සහ බෙල්ලේ ඩිජිටල් ඡායාරූප ද ගන්නා ලද අතර, අධ්‍යයනය අවසන් වූ පසු ඡායාරූප ශ්‍රේණිගත කිරීම සිදු කරන ලදී. ප්‍රතිඵලය සූර්ය රශ්මියෙන් හානි වූ (වියපත් වන) සමෙහි ඇති අසමාකාර වර්ණය සහ වර්ණ ලප සහිත සමේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil (Natural) සඵලදායී වේ. සති 16 කට පසු මුහුණේ සහ බෙල්ලේ සමෙහි පරාමිතීන් සඳහා, සායනික සහ ඡායාරූප ශ්‍රේණිගත කිරීම අනුව, සංඛ්‍යාන වශයෙන් වෙසෙසි ප්‍රතිඵලයක් ලැබිණි. සති 16 කට පසු, සමේ වර්ණයේ අසමාකාර බව සහිත පුද්ගලයින්ගෙන් 61% ක සහ වර්ණ ලප සහිත සමක් ඇති පුද්ගලයින්ගෙන් 57% ක සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදී.


වියපත් වන සම සඳහා සායනික අත්හදා බැලීම

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය Thomas J. Stephens & Associates, Inc., ටෙක්සාස්, ඇමරිකා එක්සත් ජනපදය. 1 වන අධ්‍යයනය: මුහුණ සහ බෙල්ල අරමුණ මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ (වියපත් වන) සමක් සහිත කාන්තාවන් විසින් Bio‑Oil® Skincare Oil (Natural) භාවිත කරන විට එහි සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ බවට සායනිකව නිර්ණය කළ, විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 64 දෙනෙක්. Bio‑Oil® Skincare Oil (Natural) මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයින් 32 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයින් 32 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 30-70. ක්‍රමවේදය සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයින් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදී. සති 16 ක් පුරා දිනකට දෙවරක් මුහුණේ සහ බෙල්ලේ නිෂ්පාදනය ගල්වන ලදී. මූලික අවස්ථාවේ දී නිෂ්පාදනය ගැල්වීම අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. 0, 2, 4 සහ 16 සතිවල දී සායනික ඇගයීම් සිදු කෙරිණි. යොදාගත් පුද්ගලයින්ගේ මුහුණේ සහ බෙල්ලේ සම පහත දැක්වෙන සඵලතා පරාමිතීන් සඳහා ශ්‍රේණිගත කරන ලදී: සිහින් රේඛා, ගොරෝසු රැළිවැටීම්, දෘශ්‍ය රළුබව / සුමට බව, ස්පර්ශීය රළුබව / සුමට බව, වර්ණ ලප සහිත සම, සමේ අසමාකාර වර්ණය, පැහැදිලි බව (සුදුමැලි බව), දෘශ්‍ය රළුබව සහ සමස්ත පෙනුම පිළිබඳ තක්සේරුව. එක් එක් පුද්ගලයාගේ මුහුණේ සහ බෙල්ලේ ඩිජිටල් ඡායාරූප ද ගන්නා ලද අතර, අධ්‍යයනය අවසන් වූ පසු ඡායාරූප ශ්‍රේණිගත කිරීම සිදු කරන ලදී. එක් එක් අවස්ථාවේ දී ගන්නා ලද පින්තූර සිහින් රේඛා, ගොරෝසු රැළිවැටීම්, වර්ණ ලප සහිත සම, සමේ අසමාකාර වර්ණය, පැහැදිලි බව (සුදුමැලි බව) සහ සමස්ත පෙනුම පිළිබඳ තක්සේරුව සඳහා සමස්ත ශ්‍රේණිගත කිරීමක් සිදු කරන ලදී. ප්‍රතිඵලය මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් හානි වූ (වියපත් වන) සමෙහි සමස්ත පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil (Natural) සඵලදායී වේ. සති 16 කට පසු, Bio‑Oil® Skincare Oil (Natural) ප්‍රතිකාර කණ්ඩායම සියලුම සායනික සහ ඡායාරූප මගින් ශ්‍රේණිගත කළ සඵලතා පරාමිතීන්වල දී, ප්‍රතිකාර නොකළ පාලක කණ්ඩායමට වඩා සැලකිය යුතු ලෙස සාර්ථකත්වයක් පෙන්වන ලදී. වර්ණ ලප සහිත සම හැර, මෙය සති 4 සිට සායනිකව නිරීක්‍ෂණය කරන ලදී. සති 16 කට පසු, Bio‑Oil® Skincare Oil (Natural) ප්‍රතිකාර කාණ්ඩයේ පුද්ගලයින්ගෙන් 54% ක් මුහුණේ සහ බෙල්ලේ සමස්ත පෙනුමෙහි සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදී. 2 වන අධ්‍යයනය: ශරීරය අරමුණ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ (වියපත් වන) සමක් සහිත කාන්තාවන් විසින් පපු ප්‍රදේශයේ, පාදයේ පහළ කොටසේ සහ අතේ සම මත Bio‑Oil® Skincare Oil (Natural) භාවිත කරන විට එහි සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ බවට සායනිකව නිර්ණය කළ, විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 64 දෙනෙක්. Bio‑Oil® Skincare Oil (Natural) මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයින් 32 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයින් 32 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 30-70. ක්‍රමවේදය සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයින් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදී. නිෂ්පාදනය සති 16 ක් පුරා දිනකට දෙවරක් පපු ප්‍රදේශයේ, පාදවල පහළ කොටසේ සහ දෑත්වල ගල්වනු ලබයි. මූලික අවස්ථාවේ දී නිෂ්පාදනය ගැල්වීම අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. 0, 2, 4 සහ 16 සතිවල දී සායනික ඇගයීම් සිදු කෙරිණි. යොදාගත් පුද්ගලයින්ගේ පපු ප්‍රදේශය, පාදවල පහළ කොටස, සහ දෑත් වෙන වෙනම පහත සඵලතා පරාමිතීන් සඳහා සායනිකව ශ්‍රේණිගත කරන ලදී: දෘශ්‍ය රළුබව / සුමට බව, ස්පර්ශී රළුබව / සුමට බව, වියළි බව / පොතු ගැලවී යාම, දෘශ්‍ය crêpey වයනය සහ පෙනුම පිළිබඳ සමස්ත තක්සේරුව. ප්‍රතිඵලය සිරුරේ ඇති සූර්ය රශ්මියෙන් හානි වූ (වියපත් වන) සමෙහි සමස්ත පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil (Natural) සඵලදායී වේ. සති 2 කට පසු, Bio‑Oil® Skincare Oil (Natural) ප්‍රතිකාර කණ්ඩායම සියලුම සායනිකව ශ්‍රේණිගත කළ සඵලතා පරාමිතීන්වල දී, ප්‍රතිකාර නොකළ පාලක කණ්ඩායමට වඩා සැලකිය යුතු ලෙස සාර්ථකත්වයක් පෙන්වන ලදී. සති 16 කට පසු, Bio‑Oil® Skincare Oil (Natural) ප්‍රතිකාර කාණ්ඩයේ පුද්ගලයින්ගෙන් 82% ක් පපු ප්‍රදේශයේ ද, 93% ක් පාදවල පහළ කොටසේ ද, 71% ක් දෑත්වල ද සමස්ත පෙනුමෙහි සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදී.


විජලනය වූ සම සඳහා සායනික අත්හදා බැලීම

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය Complife Italia S.r.l, ඉතාලිය. 1 වන අධ්‍යයනය: කොරොස් ස්තරයේ සජලනය හා බාධක ක්‍රියාකාරිත්වය අරමුණ කොරොස් ස්තරයේ (SC) සජලනය සහ බාධක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil (Natural) එක් වරක් භාවිතයේ සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 40 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු පුද්ගලයින්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තෙහි ගල්වන ලදී. සහභාගීන්ගේ වයස: අවුරුදු 18 ට වැඩි. ක්‍රමවේදය සසම්භාවීකෘත, අඥාත සහ පාලිත අධ්‍යයනය. කෝනියෝමීටරයක් ​​භාවිතයෙන් සමේ සජලනය තක්සේරු කිරීම, ටේවමීටරයක් භාවිතයෙන් බාධක ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීම. සමේ වියළි බව උත්තේජනය කිරීම සඳහා, මිනුම් ලබා ගැනීමට පැය 2 කට පෙර සහභාගීන් තම යටි බාහුව සබන් යොදා සෝදා ගන්නා ලදී. මූලික උපකරණීය මිනුම ලබා ගන්නා ලදී. ඉන්පසු Bio‑Oil® Skincare Oil (Natural) සියලු සහභාගීන්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තේ ස්ථානයක ගල්වන ලදී. නිෂ්පාදන ගැල්වූ වහාම සහ ගල්වා පැය 1 සහ 2 කට පසුව, නිෂ්පාදන පිස දැමීමට පෙර සහ පසු මිනුම් නැවත ලබා ගන්නා ලදී. සෑම අවස්ථාවකදීම, ප්‍රතිකාර නොකළ පාලක ප්‍රදේශයක ද මිනුම් ලබා ගන්නා ලදී. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) ප්‍රතිකාරය, විජලනය වූ සම හා සසඳන විට එක් එක් පර්යේෂණාත්මක අධීක්‍ෂණ පරීක්‍ෂාවේ දී, සම තෙත් කිරීමේ සැලකිය යුතු වැඩි දියුණුවක් සහ, සමේ බාධක ක්‍රියාකාරිත්වයේ වැඩි දියුණුව පිළිබඳ දර්ශකයක් වන අපිචර්මය හරහා ජල හානියෙහි (TEWL) සැලකිය යුතු අඩුවීමක් ඇති කිරීමට හේතු විය. 2 වන අධ්‍යයනය: වියළි සමේ පෙනුම අරමුණ වියළි සමේ පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil (Natural) වල සඵලතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: පාදවල පහළ කොටසේ පැතිවල සායනිකව වියළි / ඉතා වියලි විශල්කනය වූ සමක් සහිත කොකේසියානු කාන්තා සහභාගීන් 25 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: සියලුම පුද්ගලයින්ගේ පාදයේ පහළ, පිටත කොටසෙහි නිෂ්පාදනය ගල්වන ලදී. සහභාගීන්ගේ වයස: අවුරුදු 25–65. ක්‍රමවේදය සසම්භාවීකෘත, ද්විත්ව-අඥාත සහ පාලිත සායනික උපකරණීය අධ්‍යයනය. වියළි සම පිළිබඳ සායනික ඇගයීම් පුහුණු දෘශ්‍ය ඇගයුම්කරුවෙකු විසින් සිදු කරන ලද අතර, සමේ සජලනය තක්සේරුව කෝනියෝමීටරයෙන් ද, සමේ බාධක ක්‍රියාකාරිත්වය තක්සේරු ටේවමීටරයෙන් ද සිදු කරන ලදී. වියළි සම උත්තේජනය කිරීම සඳහා සහභාගීන් දින 7 ක කාලයක් පුරාවට සබන් යොදා තම දෙපා සෝදා පිරිසිදු කරන ලදී. මූලික උපකරණීය මිනුම ලබා ගන්නා ලදී. Bio‑Oil® Skincare Oil (Natural) දිනකට දෙවරක් ගල්වන ලදී. සායනික ඇගයීම් සහ උපකරණීය ඇගයීම් 1 සහ 3 දිනවල සිදු කරන ලදී. ප්‍රතිකාරයක් සිදු නොකළ පාලක ප්‍රදේශයක් ද සෑම අවස්ථාවකදීම ඇගයීමට ලක් කරන ලදී. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) ප්‍රතිකාරය, විජලනය වූ සම හා සසඳන විට එක් එක් පර්යේෂණාත්මක අධීක්‍ෂණ පරීක්‍ෂාවේ දී සම තෙත් කිරීමේ සැලකිය යුතු වැඩි දියුණුවක් සහ, සමේ බාධක ක්‍රියාකාරිත්වයේ වැඩි දියුණුව පිළිබඳ දර්ශකයක් වන TEWL හි සැලකිය යුතු අඩුවීමක් ඇති කිරීමට හේතු විය. චර්ම රෝග විශේෂඥයා විසින් සිදු කරන ලද සමේ වියළි බව පිළිබඳ සායනික විශ්ලේෂණය උපකරණීය ප්‍රතිඵල මගින් තහවුරු කරන ලදී. සංයුක්ත අධ්‍යයන ප්‍රතිඵලය 2 වන අධ්‍යයනයේ දී Bio‑Oil® Skincare Oil (Natural) ගල්වන ලද වියළි සමේ දෘශ්‍ය පෙනුමෙහි ඇති වූ සැලකිය යුතු දියුණුව මගින් ස්නාථ වන්නේ වියළි සහ විජලනය වූ සමට සහනයක් ලබා දීමට එහි ඇති කාර්යක්‍ෂම බව යි. අධ්‍යයනයන් දෙකේදී ම කොරොස් ස්තරයේ බාධක ක්‍රියාකාරිත්වයෙහි සහ TEWL අගයන්වල වැඩිදියුණුව මගින් මේ බව තවදුරටත් සනාථ කරයි.


සංවේදී සම සඳහා පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය Complife Italia S.r.l, ඉතාලිය. අරමුණ Bio‑Oil® Skincare Oil (Natural) සමේ කෝපයක් ඇති කිරීමට ඇති හැකියාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: සහභාගීන් 25 දෙනෙක්; එනම් ලැක්ටික් අම්ල දෂ්ටන පරීක්‍ෂාවට අනුව සංවේදී සමක් සහිත පිරිමි 3 දෙනෙක් සහ කාන්තාවන් 22 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–70. ක්‍රමවේදය පාලිත අධ්‍යයනය. සෘණ පාලකයක් යොදන ලද ප්‍රදේශයක් (ඛනිජහරණය කළ ජලය) සහ Bio‑Oil® Skincare Oil (Natural) ගැල්වූ ප්‍රදේශයක් ලෙස ප්‍රදේශ දෙකක් ඇගයීමට ලක් කරන ලදී. Finn Chamber® භාවිත කරමින්, අත්හදා බලනු ලබන නිෂ්පාදනය පැය 48 ක කාලයක් පුරා සහභාගීන්ගේ අත්වල පිටුපස ප්‍රදේශයේ ගල්වා තබන ලදී. පැච් ඉවත් කිරීමෙන් පසු මිනිත්තු 15 දී, පැය 1 දී සහ පැය 24 දී ප්‍රාථමික සමෙහි දැවිල්ල තක්සේරු කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයෙකුගේ අධීක්‍ෂණය යටතේ සමේ ප්‍රතිචාර ඇගයීමට ලක් කරන ලදී. සමෙහි ප්‍රතිචාර 0-4 දක්වා පරිමාණයෙන් (එරිතිමාව, ඉදිමුම හෝ වෙනත් ආකාරයේ සමෙහි දැවිල්ලක් නොමැති නම් 0, සහ නිෂ්පාදනය ගැල්වූ ප්‍රදේශයට ඔබ්බෙහි තද රතු පැහැති පෙනුම සහ පැතිරුණු ඉදිමුමක් පෙන්නුම් කරන බරපතල එරිතිමා සහ ඉදිමුම් තත්ත්වයක් නම් 4) ශ්‍රේණිගත කරන ලදී. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) වලට සමෙහි ඔරොත්තු දීමේ හැකියාව 'දැවිල්ල ඇති නොකරන' බවට නිර්ණය කරන ලදී.


ලප කැළැල් නොසෑදීම පිළිබඳ පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය Complife Italia S.r.l, ඉතාලිය. අරමුණ Bio‑Oil® Skincare Oil (Natural) ඇක්නි සහ ලප කැළැල් (කුරුලෑ) හටගැනීමට හේතු වන්නේ දැයි පරීක්‍ෂා කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: සහභාගීන් 20 ක්; එනම් ඇක්නිජනක සමක් සහිත විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග ඇති කාන්තාවන් 14 දෙනෙක් සහ පිරිමි 6 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65. ක්‍රමවේදය පාලිත අධ්‍යයනය. පෙරහන් කඩදාසි තැටියක් මත ගල්වන ලද නිෂ්පාදනය, සහභාගීන්ගේ පිටේ ඉහළ ප්‍රදේශයෙහි යොදන ලදී. පැච් අදාළ ස්ථානයේ පැය 48 සිට 72 දක්වා කාලයක් තිබෙන්නට හැර, ඉවත් කර නැවත යොදන ලදී. අඛණ්ඩව සති 4ක් පුරා පැච් 12ක් යොදන ලදී. සෘණ පාලකයක් (ඛනිජහරණය කළ ජලය), අත්හදා බලනු ලබන නිෂ්පාදනය (Bio‑Oil® Skincare Oil (Natural)), සහ ධන පාලකයක් (ප්‍රසිද්ධ ලප කැළැල් සාදන ද්‍රව්‍යයක් වන ලැනොලින් මද්‍යසාර) සංසන්දනය කරමින් ප්‍රදේශ තුනක් ඇගයීමට ලක් කරන ලදී. එක් එක් නිෂ්පාදනය යෙදීමට පෙර සහ පසු ලප කැළැල් සෑදීම සංසන්දනය කිරීම සඳහා, එක් එක් පැච් එක ඉවත් කිරීමෙන් මිනිත්තු 15 කට පසු චර්ම රෝග විශේෂඥයෙකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර සායනිකව ඇගයීමට ලක් කරන ලදී. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදී. Bio‑Oil® Skincare Oil (Natural) යෙදූ ප්‍රදේශය සෘණ පාලක ප්‍රදේශයට වඩා සැලකිය යුතු වෙනසක් නො පෙන්වීය. ධන පාලකයෙන් ඇක්නි හටගැනීම උත්තේජනය විය.


අවශෝෂණය පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය ව්‍යවහාරික චර්ම රෝග පර්යේෂණ සඳහා වූ Proderm ආයතනය, හැම්බර්ග්, ජර්මනිය. අරමුණ Bio‑Oil® Skincare Oil (Natural) සම මත ප්‍රාමාණිකව ගල්වා සම්බාහනය කළ පසු එහි අවශෝෂණය වීමේ ශීඝ්‍රතාව තක්සේරු කිරීම. නියැදිය යොදාගත් පුද්ගලයින්: සහභාගීන් 100 දෙනෙක්; කාන්තාවන් 74 දෙනෙක් සහ පිරිමි 26 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදන සියලු සහභාගීන්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තෙහි ගල්වන ලදී. ක්‍රමවේදය ද්විත්ව-අඥාත, සසම්භාවීකෘත, පාලිත අධ්‍යයනය. Bio‑Oil® Skincare Oil (Natural) සහ පාලක තෙලක් සහභාගීන්ගේ යටි බහුවල ඇතුල් පැත්තේ නියමිත අත්හදා බැලීමේ ප්‍රදේශවල ගල්වන ලදී. අත්හදා බලනු ලබන නිෂ්පාදනය සහභාගීන් විසින් විනාඩියකට එක් වරක් බැගින් සම්බාහනය කරන ලදී. ඉන්පසු සහභාගීන් විසින් නිෂ්පාදයේ අවශෝෂණය 'ඉතා මන්දගාමී අවශෝෂණයේ' සිට 'ඉතා වේගවත් අවශෝෂණය' දක්වා වූ ආකාර 5 ක පරිමාණයකින් ශ්‍රේණිගත කරන ලදී. ප්‍රතිඵලය සහභාගීන්ගෙන් බහුතරයක් (64%) විසින් Bio‑Oil® Skincare Oil (Natural) සම තුළට අවශෝෂණය කර ගැනීම 'ඉතා වේගවත්' හෝ 'වේගවත්' ලෙස තක්සේරු කරන ලදී.


නිරෝධකතාව පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය Rigano Laboratories, මිලාන් නුවර, ඉතාලිය. අරමුණ Bio‑Oil® Skincare Oil (Natural) කෛලාට කුක්කුහය හා සමාන නිරෝධකතා මට්ටමක් පෙන්නුම් කරන්නේ දැයි තක්සේරු කිරීම. කෛලාට කුක්කුහය (Vernix caseosa) රූපලාවණ්‍ය විද්‍යාඥයන් විසින් සම තෙත් කිරීමේ 'රන් ප්‍රමිතිය' ලෙස පුළුල් ලෙස සලකනු ලබන්නේ එහි ඇති පරිපූර්ණ නිරෝධකතා මට්ටම හේතුවෙනි. ක්‍රමවේදය මිනිස් සමේ මතුපිට ගුණාංග අනුකරණය කරන Vitro-Skin නම් අර්ධ පාරගම්‍ය පටලයකින් ආවරණය කළ බීකර තුළ, දන්නා ජල ප්‍රමාණයන් තැන්පත් කරන ලදී. කෛලාට කුක්කුහය සහ Bio‑Oil® Skincare Oil (Natural) සම ප්‍රමාණවලින් මෙම පටලය මත ගල්වා, කාලයත් සමග බීකරවල ජල හානි ශීඝ්‍රතාව මනිනු ලැබී ය. පටලය මත කිසිදු නිෂ්පාදනයක් නොගල්වා තිබිය දී ජල හානි ශීඝ්‍රතාව සමග මෙම අගයන් සංසන්දනය කරන ලදී. එක් එක් නිෂ්පාදනය සඳහා ජල වාෂ්ප හුවමාරු ශීඝ්‍රතාව ගණනය කර g/m²/h ඒකකයෙන් දක්වන ලදී. ප්‍රතිඵලය Bio‑Oil® Skincare Oil (Natural) මගින් කෛලාට කුක්කුහයට ඉතා සමාන නිරෝධකතා මට්ටමක් පෙන්නුම් කරන ලද්දේ කෛලාට කුක්කුහයේ 27.1 ක් වූ අගයට සාපේක්‍ෂව 24.9 ක අගයක් සටහන් කරමිනි.


ගැල්වීම

ගල්වන ආකාරය Bio‑Oil® Skincare Oil (Natural) මුහුණ හෝ ශරීරය මත ගල්වා සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් රවුමට පිරිමදිමින් සම්බාහනය කළ යුතු ය. අවම වශයෙන් මාස තුනක් පුරා නිෂ්පාදනය දිනපතා දෙවරක් ගැල්වීම කළ යුතු ය. Bio‑Oil® Skincare Oil (Natural) විවෘත තුවාලයක හෝ කැඩුණු සම මත ගැල්වීම නොකළ යුතු ය. එය කාලීන රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතයට පමණක් නියම කෙරේ. එය මතුපිට සමෙහි කැළලක් සම්පූර්ණයෙන්ම සුව වූ වහාම ඒ මත ගැල්වීම සඳහා ආරක්‍ෂිත වේ. එහි ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. භාවිත කළ යුතු කාලය Bio‑Oil® Skincare Oil (Natural) හි සායනික අත්හදා බැලීම් සති 8-16 අතර කාලයක් පුරා සිදු කර ඇත්තේ, කාලයත් සමග නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීමට ඉඩ සලසමිනි. සංඛ්‍යානමය විශ්ලේෂණය මගින්, සති 2ක් වැනි කෙටි කාලයකට පසු සමේ පෙනුමෙහි සැලකිය යුතු වැඩි දියුණුවක් පෙන්නුම් කරන බවත්, මෙම වැඩිදියුණුව අත්හදා බැලීම් කාලය පුරා දිගටම පැවතුණු බව හෝ ඉහළ ගිය බවත් පෙන්නුම් කරයි. සම ආරක්‍ෂණ පිළිවෙතක් සමග ඒකාබද්ධව භාවිත කිරීම උපරිම අවශෝෂණය සඳහා, පිරිසිදු කළ සම මත Bio‑Oil® Skincare Oil (Natural) ගැල්වීම කළ යුතු ය. 'සාර්ථකත්වය වැඩිකර ගැනීම' සඳහා Bio‑Oil® Skincare Oil (Natural) වෙනත් නිෂ්පාදන සමඟ මිශ්‍ර කර ගැල්වීම එහි සඵලතාවට අහිතකර ලෙස බලපායි. මොයිස්චරයිසරයක්, සූර්‍යාලෝකයෙන් සම සුරකින ලෝෂණයක් හෝ මූණේ ආලේප කරන වෙනත් ක්‍රීම් වර්ගයක් ගල්වන්නේ නම්, Bio‑Oil® Skincare Oil (Natural) සම්පූර්ණයෙන් සමට අවශෝෂණය වූ පසු පමණක් ඒවා ගල්වන්න. ඇඟ සේදීමෙන් හෝ ස්නානය කිරීමෙන් පසු Bio‑Oil® Skincare Oil (Natural) ශරීරය පුරා ගැල්වීම සිදු කරන්න. ගර්භණී සමය තුළ භාවිත කිරීම ගර්භණීභාවය හේතුවෙන් ශරීරයේ ඕනෑම තැනක ඇදීම් සලකුණු ඇතිවිය හැකි නමුත් උදරය, කලවා, ඉණ, පිටේ පහළ කොටස, තට්ටම් සහ පියයුරුවල ඒවා ඇතිවීමේ හැකියාව වැඩි ය. ගර්භණීභාවය හේතුවෙන් ඇතිවන ඇදීම් සලකුණු හටගැනීම වළක්වා ගැනීමට උපකාරී වීම සඳහා, පළමු ත්‍රෛමාසිකය ආරම්භයේ සිට උපතින් පසු කාලය දක්වා මෙම ප්‍රදේශවල Bio‑Oil® Skincare Oil (Natural) දිනකට දෙවරක් ගැල්වීමට නිර්දේශ කරනු ලැබේ. නිතිපතා යොදන Bio‑Oil® Skincare Oil (Natural) නිතිපතා ගැල්වීමෙන් pruritis gravidarum සමග එන කසනසුලු සහ විජලනය වූ සමට ක්‍රියාකාරී සහනයක් ලබා දෙනු ඇත. ගර්භණී සමයේ දී සිදුවන හෝමෝන උච්චාවචනයන් හේතුවෙන් ඇතිවන සමේ වර්ණයේ අසමාකාර බව සඳහා ද එය භාවිත කළ හැක. විටමින් A සහ ගර්භණීභාවය ගර්භණී සමයේ දී කාන්තාවන්ට විටමින් A පෝෂණ අතිරේක සීමා කිරීමට නිර්දේශ කරනු ලබන බැවින් විටමින් A සහිත සම ආරක්‍ෂණ නිෂ්පාදන භාවිත කිරීමෙන් ගැටළු උද්ගත විය හැක. සමෙහි ගල්වන ඕනෑම ද්‍රව්‍යයක් හානිකර වන්නේ එම ද්‍රව්‍යය එහි විෂවිද්‍යා සීමාවට වඩා ඉහළ මට්ටමක පවතී නම් පමණි. සම හරහා ද්‍රව්‍ය විනිවිද යාමට සම සැලකිය යුතු බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කාලීනව ගල්වනු ලබන විටමින් A වලින් ශරීරය තුළට ඇතුල් වන්නේ සුළු ප්‍රමාණයක් පමණි. යුරෝපා කොමිසමේ පාරිභෝගික ආරක්‍ෂණය පිළිබඳ විද්‍යාත්මක කමිටුව (SCCS) රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විටමින් A සහ එහි එස්ටර ඇගයීමට ලක් කර ඇත. මෙහි දී SCCS හි මතය වන්නේ බොඩි ලෝෂණ තුළ විටමින් A භාවිතය, රෙටිනෝල් සමක 0.05% ක උපරිම සාන්ද්‍රණයක් දක්වා ආරක්‍ෂිත බව යි. Bio‑Oil® Skincare Oil (Natural) වට්ටෝරුව තුළ රෝස්හිප් තෙල් ආකාරයෙන් පවතින විටමින් A ප්‍රමාණය, බොඩි ලෝෂණයක් සඳහා වන උපරිම අනුමත සන්ද්‍රණයට වඩා ඉතා අඩු මට්ටමක පවතී. Bio‑Oil® Skincare Oil (Natural) ගර්භණී කාලය පුරාම ආරක්‍ෂිතව භාවිත කළ හැක. විටමින් A අන්තර්ගතය අඩු මට්ටමක පැවතීමෙන්, Bio‑Oil® Skincare Oil (Natural) මගින් ගර්භණී කාන්තාවන්ට කිසිදු ආරක්‍ෂණ අවදානමකින් තොරව විටමින් A හි ප්‍රතිලාභ ලබා දෙයි. රෝස්මරි තෙල් සහ ගර්භණීභාවය ඉහළ සාන්ද්‍රණවලින් යුත් රෝස්මරි තෙල් ඔසප්කාරකයක් ලෙස ක්‍රියා කරන බව සොයාගෙන ඇති අතර, එයින් අදහස් වන්නේ එයට ඔසප් වීම උත්තේජනය කිරීමට මෙන්ම සමහර විට කල්තියා ප්‍රසව වේදනා ඇති කිරීමට හැකියාව ඇති බව යි. ඉහළ සාන්ද්‍රණ සහිත රෝස්මරි තෙල් භාවිත කරන ශාකසාර තෛල සම්බාහකයින් සහ නිඝන්ඩුවේදීන් ගර්භණී සමය තුළ එය භාවිත නොකිරීමට නිර්දේශ කරන්නේ එබැවිනි. කෙසේ නමුත් Bio‑Oil® Skincare Oil (Natural) තුළ අඩංගු රෝස්මරි තෙල් සාන්ද්‍රණය ඉතා අඩු අතර, එබැවින් එය ගර්භණී සමය තුළ භාවිතය සඳහා ආරක්‍ෂිත වේ. මව්කිරි දෙන කාලය තුළ භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) මව්කිරි දෙන කාලය තුළ සමෙහි ගැල්වීම සඳහා ආරක්‍ෂිත නමුත් එය තනපුඩු මත ගැල්වීමෙන් වැළකී සිටීමට නිර්දේශ කෙරේ. හානිකර බලපෑමක් ඇතිවීමේ හැකියාවක් නොමැති වුව ද, කුඩා ළදරුවන් ඉතා සංවේදී බැවින්, ඔවුන්ට Bio‑Oil® Skincare Oil (Natural) ඉතා කුඩා ප්‍රමාණවලින් වුව ද ශරීරගත නොවිය යුතු ය. ළදරුවන් සහ ළමුන් සඳහා භාවිත කිරීම වයස අවුරුදු තුනට අඩු ළමුන් සඳහා Bio‑Oil® Skincare Oil (Natural) භාවිත කිරීමේ ආරක්‍ෂිත බව පිළිබඳ තක්සේරු කර නොමැත. උපතින් පසු පළමු වසර කිහිපය තුළ, මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය ඇතුළු බොහෝ වෙනස්කම් සිදු වේ. එබැවින් මෙම නිෂ්පාදනය වයස අවුරුදු තුනක් හෝ ඊට වැඩි ළමුන් සඳහා පමණක් භාවිත කිරීමට නිර්දේශ කරනු ලැබේ. නිෂ්පාදනය දරුවන් සඳහා භාවිත කිරීමේ දී සැලකිලිමත් විය යුතු අතර, එය ඇස් හෝ මුඛය ආසන්නයේ ගැල්වීම නොකළ යුතු ය. අව් රශ්මියේ භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) පිළිබඳ සිදු කරන ලද පරීක්‍ෂණවලින් පෙනී යන්නේ එයින් අව්වට සම පිළිස්සීම වැඩි වීමක් හෝ උග්‍ර වීමක් සිදු නොවන බව යි. එබැවින් එය අව් රශ්මියේ භාවිත කිරීම ආරක්‍ෂිත වේ. කෙසේ නමුත් මෙම නිෂ්පාදනයෙන් සූර්යයාගේ UVA සහ UVB කිරණවල හානිකර බලපෑම්වලට එරෙහිව කිසිදු ආරක්‍ෂාවක් නොලැබෙන බැවින් එය සූර්ය ආරක්‍ෂණ සාධකය (SPF) අවම වශයෙන් 30ක අගයක් සහිත පුළුල් පරාස සන්ස්ක්‍රීන් ආලේපනයක් සමග ඒකාබද්ධව භාවිත කිරීම වැදගත් වේ. ශ්ලේෂ්මල පටල මත හෝ ඒ ආසන්නයේ භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) ශ්ලේෂ්මල පටලවල ස්පර්ශ වන පරිදි ගැල්වීම හැර අනෙකුත් සියලුම භාවිතයන් සඳහා ආරක්‍ෂිත බවට වර්ග කර ඇත. විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව සමග ඒකාබද්ධව භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) තුළ විකිරණ අවශෝෂණය කර ගත හැකි අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවූව ද, විකිරණ චිකිත්සා හෝ රසායනික චිකිත්සා ප්‍රතිකාරවලට ලක්වන පුද්ගලයින් නිෂ්පාදනය භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ. ඖෂධ නිෂ්පාදන සමග ඒකාබද්ධව භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. ඖෂධ නිෂ්පාදන භාවිත කරන අතරතුර ඒ සමග ඒකාබද්ධව මෙම නිෂ්පාදනය භාවිත කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. සංවේදී සම මත භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) සංවේදී සම මත භාවිත කළ හැක. සංවේදී සමක් සහිත වයස අවුරුදු 18-70 අතර සහභාගීන් 25 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද සමෙහි දැවිල්ල පිළිබඳ අධ්‍යයනයක දී, කිසිදු පුද්ගලයෙකු එහි වට්ටෝරුව සම්බන්ධ කිසිදු අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ දී නැත. තෙල් සහිත සම මත භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) තෙල් සහිත සම මත භාවිත කළ හැක. වයස අවුරුදු 18-65 අතර ඇක්නි සහිත සමක් ඇති සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Skincare Oil (Natural) මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදී. ඇක්නි සහිත සම මත භාවිත කිරීම Bio‑Oil® Skincare Oil (Natural) ඇක්නි සහිත සම සඳහා භාවිත කළ හැක. වයස අවුරුදු 18-65 අතර ඇක්නි සහිත සමක් ඇති සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Skincare Oil (Natural) මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදී.


කැළැල් හටගැනීම

කැළලක් යනු සම තුවාල වීමෙන් පසු එය සුව වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ස්වාභාවිකව සිදුවන කොලැජන් වර්ධනය යි. කොලැජන් සෑදී ඇත්තේ ස්වාභාවිකව ඇති වන ප්‍රෝටීනවලින් වන අතර, එය ශරීරයේ ඇති සම්බන්ධක පටකවල ප්‍රධාන සංඝටකය වේ. සමෙහි තුවාලයක් සිදු වූ විට, එම බලපෑමට ලක් වූ ප්‍රදේශය අලුත්වැඩියා කිරීමට ශරීරය හැකිතාක් ඉක්මනින් ක්‍රියා කරනුයේ පරිපූර්ණ සුව වීමක් ලබා දීමටත් වඩා නොනැසී පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමිනි. සිදු වූ තුවාලයට ප්‍රතිචාර වශයෙන් කොලැජන් ශීඝ්‍රයෙන් අධික ලෙස නිෂ්පාදනය කිරීම කැළැල් ඇති කිරීමට හේතු වේ. කැළලක් පරිණත වන විට විවිධ වෙනස්කම්වලට භාජනය වන අතර, එයට කිසි විටෙකත් එහි අවට සමේ ඇති සාමාන්‍ය ශක්තිමත් බව නොලැබේ. කැළල ඇතිවන ප්‍රදේශයේ රෝම කූප සහ දහඩිය ග්‍රන්ථි නැවත වර්ධනය නොවේ. කැළැල් සෑදීම පහත පරිදි අදියර හතරකින් සිදු වේ: රක්තපාතරෝධක අවධිය මෙම අවධිය තුවාලයක් සිදු වූ සැණින් ආරම්භ වී පැය කිහිපයක් පවතින අතර, මෙහි දී සිදු වන්නේ තුවාලයේ ලේ ගැලීම පාලනය කිරීම සඳහා රුධිර නාල සංකෝචනය කිරීමෙන් තුවාල වූ ප්‍රදේශය සාමාන්‍ය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීම යි. තුවාල වූ සෛල එකවර රුධිරය කැටි ගැසීම සක්‍රීය කිරීම සඳහා ඇතැම් ප්‍රෝටීන මුදා හරින අතර, එමඟින් හානියට පත් රුධිර නාල මුද්‍රා තබා රුධිර වහනය අඩු කරයි. ප්‍රදාහක අවධිය ආරම්භක කම්පනයෙන් පසු දින තුනක හෝ හතරක කාලයක් පුරා පෙනෙන්නට ඇති රතු පැහැය සහ ඉදිමීම, ප්‍රතිශක්ති ප්‍රතිචාරය පෙන්වන දර්ශකයකි. සුදු රුධිරාණු මගින් තුවාලයේ ඇති සුන්බුන් හා බැක්ටීරියා පිරිසිදු කරන රසායන ද්‍රව්‍ය නිකුත් කරයි. ප්‍රගුණන අවධිය මෙය තුන් වන දිනයේ දී පමණ ආරම්භ වී සති තුනක පමණ කාලයක් පවතී. තුවාලය වසා දැමීමට සහ ඇලවීමට මෙම අදියරේ දී එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් තුනක් එකවර සිදු වේ: කණිකාභවනය: තුවාලය සහිත ප්‍රදේශය තුළ තන්තු සෛල (කොලැජන් සංස්ලේෂණය කිරීම සඳහා වගකිව යුතු සෛල) අධික ලෙස ප්‍රගුණනය වී, තුවාලය පිරවීම සඳහා ඉක්මනින් කොලැජන් නිපදවීම සිදු කරයි. අපිච්ඡදකරණය: තුවාලය ආවරණය කිරීම සඳහා සම් ස්ථරයක් නිර්මාණය සිදු වේ. තුවාලය හැකිලීම: සමේ කඩතොලු අවම කිරීමේ උත්සාහයක් වශයෙන් තුවාලය එකට එකතු වේ. පරිණති අවධිය මෙම 'ප්‍රතිසැකසීමේ' අදියර සති තුනකට පමණ පසුව ආරම්භ වී තුවාලයේ ප්‍රමාණය හා ගැඹුර අනුව වසර දෙකක් දක්වා කාලයක් පැවතිය හැකි ය. මෙම කාලය තුළ තුවාල ප්‍රදේශය මත ඇතිවන ආතතීන්ට අනුකූලව තන්තු ප්‍රතිසංවිධානය වීම හේතුවෙන් කොලැජන් දිගටම ගොඩනැඟෙන අතර, කැළැල්වල අවසන් ස්වභාවය තීරණය වන්නේ එමඟිනි. කැළල මගින් තුවාල ප්‍රදේශය ආවරණය වන අතර එය පහසුවෙන් බිඳී යාම සිදු විය හැක. සාමාන්‍යයෙන් කැළැල් පටකවල ඇත්තේ සාමාන්‍ය සමේ ආතන්‍ය ශක්තියෙන් 70% කි.


කැළැල් වර්ග

පුද්ගලයන්ගේ සුවවීම එකිනෙකාට වෙනස් ආකාරයකින් සිදු වන නිසා, කැළලක අවසාන පෙනුම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. කැළලක පෙනුම කුමනාකාර වේ දැයි නිර්ණය කිරීමේ දී සමේ වර්ගය, කැළලේ පිහිටීම, තුවාලයේ වර්ගය, පුද්ගලයාගේ වයස මෙන්ම පෝෂණ තත්ත්වය වැනි සාධක ද වැදගත් වේ. කැළැල් වර්ග පහත කාණ්ඩවලට බෙදා දැක්විය හැක: සාමාන්‍ය කැළැල් මෙම කැලැල් ආරම්භයේ දී දැවිල්ල සහිත හා අඳුරු පෙනුමකින් යුක්ත නමුත් කාලයත් සමග එය පැතලි වී පෙනුම අඩු වී ගොස් සිහින් රේඛාකාර කැළලක් බවට පත් වේ. අවවර්ධී කැළැල් මෙම කැළැල් සමේ මතුපිටට පහළින් අවපාත හෝ කඩතොලු ඇති කරයි. ඇක්නිවලින් හෝ පැපොල රෝගයෙන් ඇතිවන කැළැල් මීට උදාහරණ වේ. අධිවර්ධී කැළැල් මෙම කැළැල් සම මතුපිටින් ඉහළට මතු වී පෙනේ. මේවා කොලැජන් අධික ලෙස තැන්පත් වීමෙන් සෑදෙන නමුත් සෑම විටම මුල් තුවාලයේ මායිම් තුළට සීමා වේ. කීලාභය කැළැල් කීලාභයන් අධිවර්ධී කැළැල් සමග පටලවා නොගත යුතු ය. අධිවර්ධී කැළැල් ද සම මට්ටමෙන් ඉහළට මතු වූ ඒවා නමුත්, කීලාභය කැළැල් යනු මුල් තුවාලයේ සීමාවෙන් ඔබ්බට පැතිර ඇති කැළැල් වේ. කාලයත් සමඟ ඒවා දිගටම වර්ධනය විය හැකි අතර, ඒවා කපා දැමූ පසුව ද සාමාන්‍යයෙන් නැවත වර්ධනය වීම සිදු වේ. සංකෝචිත කැළැල් සම ස්ථිරවම තදභාවයට පත් වූ විට දී සංකෝචිත කැළලක් ඇතිවේ. බොහෝවිට ඒවා ඇති වන්නේ නිවැරදි කෝණවලින් කැළැල් හරහට සම්බන්ධ වූ විට හෝ සම රැලි ගැසීම්වලිනි. කැළැල් පටක ඇදීමට ප්‍රතිරෝධී වන අතර ඒවායේ චලනය සාමාන්‍ය නිෂේධනය විය හැක. බොහෝ විට සංකෝචිත කැළැල් ඇති වන්නේ පිළිස්සුම් තුවාල ලැබීමෙන් පසුව යි. ඇදීම් සලකුණු (විලේඛ) සිරුරේ බර වේගයෙන් වෙනස් වන කාලවල දී (උදා: ගැටවර වියේ වේගවත් වර්ධනය, ගර්භණීභාවය) ශරීරය වටා ඇති සමට වඩා වේගයෙන් ශරීරය ප්‍රසාරණය වන විට සමේ පටකවල අභ්‍යන්තර ඉරීම් ඇති වේ. මෙම ඉරීම් අලුත්වැඩියා වීම සිදුවන විට ඒවායින් ඇදීම් සලකුණු ලෙස හඳුන්වනු ලබන කැළැල් ඇති කරයි.


ඇදීම් සලකුණු හටගැනීම

වෛද්‍ය විද්‍යාවේ දී ඇදීම් සලකුණු හෙවත් විලේඛ යනු හුදෙක්ම කැළැල් ඇතිවීමේ තවත් ආකාරයක් වන අතර, කෙසේ නමුත් බොහෝ පුද්ගලයින් මේවා කැළැල්වලින් වෙන්කොට සලකයි. විලේඛ යනු සමේ වේගවත් ප්‍රසාරණයක් සිදුවන කාලවල දී සමෙහි හටගන්නා රේඛා වන අතර, උදාහරණ වශයෙන් ගර්භණී කාන්තාවන්, කායවර්ධකයින් සහ යෞවනයින්ගේ වේගවත් වර්ධන අවධිය දැක්විය හැක. නමෙන් හැඟවෙන ආකාරයටම, මේවා හටගන්නේ සම ඇදීමට ලක්වීමෙනි. ලා පැහැති සමක් ඇති අයගේ රෝස පැහැති ඇදීම් සලකුණු ද, අඳුරු පැහැති සමක් ඇති අයගේ යාබද සමට වඩා ලා පැහැති ඇදීම් සලකුණු ද ඇතිවීමේ නැඹුරුවක් පවතී. සම ස්වභාවිකවම ප්‍රත්‍යාස්ථ බවින් යුතු වේ. මෙම ප්‍රත්‍යාස්ථ බව ලබා දෙන්නේ සමට යටින් ඇති ඇතුල් සමේ පවතින කොලැජන් සහ ඉලාස්ටීන් මගිනි. කොලැජන් සෑදී ඇත්තේ ස්වාභාවිකව හටගන්නා ප්‍රෝටීන සමූහයකින් වන අතර එය ශරීරයේ සම්බන්ධක පටකවල ප්‍රධාන සංඝටකයකි. ස්වාභාවිකව හටගන්නා ප්‍රෝටීනවලින් සෑදී ඇති ඉලාස්ටීන් ද සම්බන්ධක පටකවල දක්නට ලැබෙන අතර, එමගින් සමට ප්‍රත්‍යාස්ථ ගුණය ලබා දේ. මෙම සම්බන්ධක පටක විස්තාරණය හා සංකෝචනය මගින් ශරීරයේ අඛණ්ඩ චලනයට අනුවර්තනය වීමට චර්ම පටකයට හැකියාව ලබා දෙන අතර, නමුත් වේගයෙන් බර වැඩිවන කාලවල දී ඊට අනුගත වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීමෙන් සමේ පටකවල අභ්‍යන්තර ඉරීම් ඇති වේ. මෙම ඉරීම් අලුත්වැඩියාව සිදුවන විට ඒවායින් අපි ඇදීම් සලකුණු ලෙස හඳුන්වන කැළැල් සාදයි. මෙය සර්පිලයක් ඇදීමට සමාන කර දැක්විය හැක. ඔබ සර්පිලයක් එහි ප්‍රත්‍යාස්ථ සීමාව ලෙස හඳුන්වන නිශ්චිත පරාසයක් තුළ ඇදීම සිදු කළහොත්, එය නැවතත් මුලින් තිබූ ප්‍රමාණයටම සංකෝචනය වේ. කෙසේ නමුත්, ඔබ සර්පිලය එහි ස්වාභාවික ප්‍රත්‍යාස්ථතා සීමාව ඉක්මවා ඇදීම සිදු කළහොත් එය ස්ථිරවම ඇදී ගොස් ආපසු එය මුලින් තිබූ ප්‍රමාණයට පත් නොවේ. ඇදීම් සලකුණු මගින් සැලකිය යුතු වෛද්‍යමය ගැටළුවක් උද්ගත නොකළ ද, ඒවා හටගත් පුද්ගලයින්ට චිත්තවේගීය පීඩාවක් ගෙන දිය හැක. සමේ වර්ගය, වයස, ප්‍රවේණිය, ආහාර සහ සමේ සජලනය අනුව ඇදීම් සලකුණු වර්ධනය වීමේ සම්භාවිතාව වෙනස් වේ. ඇදීම් සලකුණු හටගැනීමේ අදියර පහත පරිදි වේ: පළමු අදියර මුලින්ම ඇතිවන ඇදීම් සලකුණු සුදුමැලි වර්ණයෙන් යුක්ත වන අතර ඒවා කසනසුළු විය හැක. ඇදීම් සලකුණු වටා ඇති සම ද ඉක්මනින්ම 'පැතලි' සහ 'සිහින්' පෙනුමක් ගනී. දෙවන අදියර ඇදීම් සලකුණුවල දිග හා පළල ක්‍රමයෙන් වැඩි වී අඳුරු සහ වඩාත් පැහැදිලි පෙනුමක් ගනී. තුන්වන අදියර ඇදීම් සලකුණු පරිණත වී සම තවදුරටත් ආතතියට ලක් නොවන විට, ඒවා මැකී යාම ආරම්භ වන අතර සුදුමැලි පැහැයකට පත් වේ. ඒවා තරමක් අවපාතනය වී හැඩය හෝ දිග අක්‍රමවත් පෙනුමක් ගත හැකි ය.


ගර්භණී කාලයේ ඇදීම් සලකුණු හටගැනීම

ගර්භණී කාන්තාවන්ගෙන් 50% ත් 90% ත් අතර සංඛ්‍යාවක් ඇදීම් සලකුණුවලට ගොදුරු වන බවට තක්සේරු කර ඇත. ගර්භණී සමය තුළ ශරීරයේ වෙනස්කම් සිදු වන විට සම විශාල වශයෙන් ඇදීමට ලක්වන උදරය, කලවා, ඉණ, පිටේ පහළ කොටස, තට්ටම් සහ පියයුරු යනාදී ස්ථානවල ඇදීම් සලකුණු වර්ධනය විය හැක. ඇදීම් සලකුණු ශරීරයේ ඕනෑම තැනක හටගැනීම සිදුවිය හැකි අතර, විශාල මේද ප්‍රමාණයක් ගබඩා වී ඇති ස්ථානවල ඒවා හටගැනීමට වැඩි ඉඩක් පවතී. සාමාන්‍යයෙන් ඇදීම් සලකුණු මතුවීමට පටන් ගන්නේ ගර්භණී සමයේ පසු ත්‍රෛමාසික තුළ (හයවන හෝ හත්වන මාසය පමණ) වන අතර, සමහර කාන්තාවන්ගේ පළමු ත්‍රෛමාසිකය තුළදීම ඇදීම් සලකුණු මතුවීමට පටන් ගනී. හෝමෝන මට්ටම ඉහළ ගොස් දරු ප්‍රසූතිය සඳහා සූදානම් කිරීම ද ගර්භණී කාලයේ ඇදීම් සලකුණු ඇතිවීමට හේතු විය හැක. මෙම හෝමෝන මගින් සම තුළට වැඩි ජල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්නා අතර, එමගින් කොලැජන් තන්තු අතර ඇති බන්ධන ලිහිල් කරයි. මෙමගින් සම ඇදෙන විට එය පහසුවෙන් ඉරී ගොස් ඇදීම් සලකුණු හටගැනීම පහසු කරයි. සමේ වර්ගය, වයස, ප්‍රවේණිය, ගන්නා ආහාර හා සමේ සජලනය අනුව ඇදීම් සලකුණු වර්ධනය වීමේ සම්භාවිතාව වෙනස් වේ.


නිෂ්පාදනය

Bio‑Oil® Skincare Oil (Natural) නිෂ්පාදන ක්‍රියාවලිය රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වන ISO 22716: 2007 ප්‍රමිතියෙහි හොඳ නිෂ්පාදන පිළිවෙත් (GMP) හා සම්බන්ධ අවශ්‍යතාවලට අනුකූලව සිදු කරනු ලබයි. Bio‑Oil® Skincare Oil (Natural) නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන සියලුම අමුද්‍රව්‍යවලට විශ්ලේෂණ සහතිකයක් (COA) ඇති අතර සියලුම ඇසුරුම් ද්‍රව්‍යවලට අනුකූලතා සහතිකයක් (COC) ඇත. තත්ත්ව පාලන පරීක්‍ෂණ සමත් වන තුරු කිසිදු අමුද්‍රව්‍යයක් හෝ ඇසුරුම් ද්‍රව්‍යයක් නිෂ්පාදන ක්‍රියාවලියට මුදා හරිනු නොලැබේ. මිශ්‍ර කරනු ලබන සෑම Bio‑Oil® Skincare Oil (Natural) කාණ්ඩයක් සඳහාම අනන්‍ය වූ කාණ්ඩ අංකයක් ඇත. කාණ්ඩයෙන් ලබාගත් නියැදියක් ගෙන රසායනාගාරය තුළ එහි පෙනුම, පැහැදිලි බව, ගන්ධය, වර්ණාවලි දීප්තමාන හැඳුනුම්, ඝනත්වය, දුස්ස්‍රාවිතාව සහ ක්‍ෂුද්‍රජීවීන් සඳහා පරීක්‍ෂා සිදු කරනු ලබයි. නියැදිය වසර හතරක කාලයක් රඳවා තබා ගනු ලබයි. Bio‑Oil® Skincare Oil (Natural) පිරවීම සහ ඇසුරුම් කිරීම සිදු කරනු ලබන්නේ පාලිත උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවක් ඇති පරිශ්‍රයක් තුළ යි. දූවිලි මගින් අපිරිසිදු වීම වැළැක්වීම සඳහා වාතය අධි කාර්යක්‍ෂම අංශුමය වායු (HEPA) පෙරහන් පද්ධතියක් හරහා ගමන් කරයි. නිෂ්පාදන දාමවල සේවය කරන සේවකයින් හිස්වැසුම්, මුහුණු ආවරණ, මූණත් පළිහ, අත්වැසුම්, කබා සහ පාවහන් ආවරණ පැළඳ සිටී. සාම්පල නියත කාල පරතරයකින් නිෂ්පාදන දාමයෙන් පිටතට ගෙන, තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව විසින් පූර්වෝපායක් ලෙස එහි ඇති අසාමාන්‍යතා දෝෂ පිලිබඳ පරීක්‍ෂා කර බලයි. නිෂ්පාදන බෝතලය, කඩදාසි පෙට්ටිය සහ ප්‍රවාහන පෙට්ටිය මත කාණ්ඩ අංකයක් මුද්‍රණය කරනු ලබන අතර, එක් එක් නිෂ්පාදිත කාණ්ඩයෙන් රැඳවුම් සාම්පලයක් ගෙන එය වසර හතරක කාලයක් රඳවා තබා ගනු ලබයි. Bio‑Oil® Skincare Oil (Natural) නිෂ්පාදනය කිරීමේ දී හානිකර විමෝචන, අන්තරායකාරී අපද්‍රව්‍ය හෝ අපජලය ජනනය සිදු නොවේ.


ගබඩා කිරීමට උපදෙස්

Bio‑Oil® Skincare Oil (Natural) ඍජු සූර්යාලෝකය නොවැටෙන සිසිල් ස්ථානයක ගබඩා කළ යුතු ය.


ප්‍රතිචක්‍රීකරණය

Bio‑Oil® Skincare Oil (Natural) ඇසුරුම් (බෝතලය, ඇබය, මූඩිය සහ කඩදාසි පෙට්ටිය) ප්‍රතිචක්‍රීකරණය කළ හැක.


විවෘත කර තබාගත හැකි කාලය (PAO)

Bio‑Oil® Skincare Oil (Natural) විවෘත කර මාස 12ක් (PAO) තබාගත හැක. මෙම කාල සීමාව නිෂ්පාදනය විවෘත කිරීමෙන් පසු එය ආරක්‍ෂිතව සහ පාරිභෝගිකයාට කිසිදු හානියකින් තොරව භාවිත කළ හැකි කාලය යි.


සහතිකකරණයන්

Bio‑Oil® Skincare Oil (Natural) හලාල් සහ කොෂර් සහතිකකරණයන් ලබා ඇත.


අහිතකර ප්‍රතික්‍රියා

Bio‑Oil® Skincare Oil (Natural) සතුව ආරක්‍ෂිත විෂවිද්‍යා පැතිකඩක් ඇති අතර, එය සියලුම රූපලාවණ්‍ය නිෂ්පාදන මෙන් ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර රෙගුලාසි සපුරාලන අතරම, Bio‑Oil® Skincare Oil (Natural) භාවිත කරන්නන්ට එය භාවිත කිරීමේ දී අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ දීමට සිදු වීමේ අවදානමක් පවතී. එවැනි අහිතකර ප්‍රතික්‍රියාවක් සිදු වුවහොත්, නිෂ්පාදයන භාවිත කිරීම වහාම නැවැත්විය යුතු ය. සමේ සිදුවන අහිතකර ප්‍රතික්‍රියාවක රෝග ලක්‍ෂණ ලෙස පලු දැමීම, ඉදිමීම සහ දැවිල්ල ඇතිවිය හැකි අතර සාමාන්‍යයෙන් මෙම ලක්‍ෂණ ඇති වන්නේ නිෂ්පාදනය ගල්වන ලද ප්‍රදේශය තුළ යි. මෙහි දී සමෙහි කැසීම සහ සුළු අපහසුතාවක් ඇති විය හැක. බොහෝ අවස්ථාවල දී, නිෂ්පාදනය භාවිත කිරීම නවත්වා දින දෙක තුනක් ඇතුළත අහිතකර ප්‍රතික්‍රියාව පහව යයි. සම නැවත යථා තත්ත්වයට පත්වන තෙක්, ප්‍රතික්‍රියාව පහව යන තුරු සම වියළි හා පොතු ආකාර ස්වභාවයක් ගත හැක. Bio‑Oil® Skincare Oil (Natural) භාවිතය හේතුවෙන් සිදු වීමට ඉඩ ඇති ආසාත්මිකතා ප්‍රතිචාරයක් සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම්, ඒ බව පරීක්‍ෂා කිරීම සඳහා සරල ආසාත්මිකතා පරීක්‍ෂණයක් සිදු කිරීම වැදගත් වේ. මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ කුඩා ප්‍රමාණයක් යටි බාහුවේ ඇතුල් පැත්තේ ගල්වා පැය 24 ක කාලයක් තුළ යම් ප්‍රතික්‍රියාවක් සිදු වේ දැයි බැලීමෙනි. සමේ රතුවීමක් (එරිතිමාව) හෝ සුළු ඉදිමීමක් (එඩීමා) ඇතිවීම ආසාත්මික ප්‍රතිචාරයක් ඇතිවීමේ හැකියාව පෙන්වන ලකුණක් විය හැක.


සතුන් භාවිතයෙන් පරීක්‍ෂා කර නැත

Bio‑Oil® Skincare Oil (Natural) සහ එහි අන්තර්ගත අමුද්‍රව්‍ය නිපදවනු ලබන්නේ රූපලාවණ්‍ය අරමුණු සඳහා සත්ව පරීක්‍ෂණ යොදා ගැනීමට අදාළ යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව යි. Bio‑Oil® Skincare Oil (Natural) හෝ එහි කිසිදු අමුද්‍රව්‍යයක් Bio‑Oil විසින් හෝ එහි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් විසින් සතුන් භාවිතයෙන් පරීක්‍ෂා නොකරයි.


සත්ත්ව අමුද්‍රව්‍ය රහිතයි

Bio‑Oil® Skincare Oil (Natural) තුළ සත්ත්ව සම්භවයක් සහිත අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ.


අනපේක්‍ෂිත ලෙස ශරීරගත වීම

Bio‑Oil® Skincare Oil (Natural) අනපේක්‍ෂිත ලෙස ශරීරගත වුවහොත්, එය විෂ රහිත නිෂ්පාදනයක් බැවින් ඔක්කාරය හා පාචනය වැනි තත්ත්වයන්ට අමතරව කිසිදු අහිතකර බලපෑමක් සිදුවීමේ හැකියාවක් නොමැත. කෙසේ නමුත්, විශේෂයෙන් එය අනපේක්‍ෂිත ලෙස අතදරුවකුගේ හෝ දරුවෙකුගේ ශරීරගත වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කරනු ලැබේ.


පෙනුම වෙනස් වීම

Bio‑Oil® Skincare Oil (Natural) තුළ දාස්පෙති, කැමොමයිල්, ලැවෙන්ඩර්, කොල්ලංකොල සහ රෝස්මරි ශාක නිස්සාරක හා සගන්ධ තෙල් මෙන්ම රෝස්හිප් තෙල් ස්වභාවයෙන් පවතින විටමින් A අඩංගු වන අතර ඒවා සියල්ලම සූර්‍යාලෝකයට සංවේදී වේ. එබැවින් එය සූර්‍යාලෝකයට නිරාවරණය වීමෙන් කාලයත් සමග වර්ණය වෙනස් විය හැක. කෙසේ නමුත් නිෂ්පාදනයේ සඵලතාවට එය බලපානු ඇතැයි සිතිය නොහැක. මේ සඳහා පූර්වෝපායක් ලෙස Bio‑Oil® Skincare Oil (Natural) බෝතල්වල පාරජම්බුල කිරණ අවශෝෂකයක් අඩංගු වේ. කෙසේ නමුත් නිෂ්පාදනය සෘජු සූර්යාලෝකයෙන් ඈත්කොට ගබඩා කළ යුතු ය.


අවසන් වරට යාවත්කාලීන කළ දිනය

2023 අගෝස්තු 22