වෙළඳ නාමය

Bio‑Oil®

නිෂ්පාදන නාමය සහ ප්‍රමාණ

Skincare Oil 25ml

Skincare Oil 60ml

Skincare Oil 125ml

Skincare Oil 200ml

විස්තරය

සමේ කැළැල් සහ ඇදීම් සලකුණුවල පෙනුම වැඩි දියුණු කිරීමට උපකාරී වන බව සායනිකව සනාථ කර ඇති සම සුරැකුම් තෙලකි.

සුදුසු භාවිතය

කැළැල්

සමේ අළුත් සහ පරණ කැළැල්වල පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි.

ඇදීම් සලකුණු

සමේ ඇදීම් සලකුණුවල පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි. එමෙන්ම සමේ ප්‍රත්‍යාස්ථතාව වැඩි දියුණු කර, ඇදීම් සලකුණු ඇතිවීමේ හැකියාව අඩු කරයි.

සමෙහි අසමාකාර වර්ණය

සමෙහි අසමාකාර වර්ණයේ පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි.

වියපත් වන සම

මුහුණේ සහ ශරීරයේ වියපත් වන සමේ පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි.

විජලනය වූ සම

සමේ තෙතමනය හානිවීම අඩු කර, විජලනය වූ සමේ පෙනුම වැඩි දියුණු කිරීමට උපකාර කරයි.

ස්වභාවය

තැඹිලි / රෝස පැහැති තෙල් වර්ගයකි.

අමුද්‍රව්‍ය

Paraffinum Liquidum, Triisononanoin, Cetearyl Ethylhexanoate, Isopropyl Myristate, Retinyl Palmitate, Helianthus Annuus Seed Oil, Tocopheryl Acetate, Anthemis Nobilis Flower Oil, Lavandula Angustifolia Oil, Rosmarinus Officinalis Leaf Oil, Calendula Officinalis Extract, Glycine Soja Oil, Bisabolol, Tocopherol, Parfum, Alpha-Isomethyl Ionone, Amyl Cinnamal, Benzyl Salicylate, Citronellol, Coumarin, Eugenol, Farnesol, Geraniol, Hydroxycitronellal, Limonene, Linalool, CI 26100.

කැළැල් සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

ව්‍යවහාරික චර්ම රෝග පර්යේෂණ සඳහා වූ Proderm ආයතනය, හැම්බර්ග්, ජර්මනිය.

අරමුණ

කැළැල්වල පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil වල සඵලත්වය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 36 දෙනෙක්. කැළැල්වල වයස: අලුතින් හටගත් සහ අවුරුදු 3 දක්වා වූ කැළැල්. කැළැල් පිහිටි ස්ථාන: උදරය, පාදය, අත, බෙල්ල, දණහිස, බඳ, ශරීරයේ ඉහළ කොටස. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65.

ක්‍රමවේදය

ද්විත්ව-අඥාත, සසම්භාවීකෘත, ඔසු පිරික්සුම් පාලකයක් සහිත අධ්‍යයනය. යොදාගත් පුද්ගලයන් කැළැල්වලට යොදන නිෂ්පාදනය කැළැල් මත අඩ බැගින් ගල්වා ඔවුන් අතරේ එම අර්ධයන් සංසන්දනය කළ හැකි, සුදුසු විශාලත්වයකින් යුතු කැළලක් හෝ කැළැල් කිහිපයක් සහිත පුද්ගලයන් විය. නිෂ්පාදනය සති 8ක් පුරා දිනපතා දෙවරක් ගල්වන ලද අතර, ඉලක්කගත ප්‍රදේශයෙහි අමතර සම්බාහනය කිරීමක් සිදු නොකෙරිණි. නිෂ්පාදනය ගැල්වීම නියත කාල පරතරවලින් අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි. සති 0, 2, 4 සහ 8 යන කාලවල දී තක්සේරු සිදු කරන ලදි. රෝගියාගේ සහ නිරීක්‍ෂකයාගේ කැළැල් තක්සේරු පරිමාණය (POSAS) තුළ විස්තර කර ඇති විවිධ කැළැල් පරාමිතීන් ඇගයීමට ලක් කරන ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Skincare Oil මගින් කැළැල්වල පෙනුම ඵලදායී ලෙස වැඩි දියුණු කරයි. පුද්ගලයන්ගෙන් 66% ක් තුළ සති 2ක (15 වන දිනය) පමණ කාලයකින් සංඛ්‍යාන වශයෙන් වෙසෙසි ප්‍රතිඵලයක් පැහැදිලිව දක්නට ලැබිණි. සති 8 කට පසු (57 වන දිනය), පුද්ගලයන්ගෙන් 92% ක් වැඩි දියුණුවක් පෙන්නුම් කළ අතර, එය සති 2 දී පෙන්වූ ප්‍රතිඵලය මෙන් තුන් ගුණයක පමණ වැඩි දියුණුවකි. අධ්‍යයන කාලය පුරා POSS අඛණ්ඩ වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි.

ඇක්නි කැළැල් පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

චීනයේ බීජිං නුවර පීකිං විශ්ව විද්‍යාලයේ පළමු රෝහලේ, චර්ම රෝග දෙපාර්තමේන්තුව.

අරමුණ

චීන වැසියන්ගේ මුහුණේ ඇක්නි කැළැල්වල පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil වල සඵලත්වය තක්සේරු කිරීම සඳහා ගවේෂණාත්මක අධ්‍යයනයක් සිදු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: මුහුණේ අලුතින් හටගත් (අවුරුදු 1 ට අඩු) ඇක්නි කැළැල් සහිත චීන ජාතිකයන් 44 දෙනෙක්. Bio‑Oil® Skincare Oil මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයන් 32 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයන් 12 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 14–30.

ක්‍රමවේදය

සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයන් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදි. නිෂ්පාදනය සති 10ක් පුරා දිනපතා දෙවරක් ගල්වන ලදි. නිෂ්පාදනය ගැල්වීම නියත කාල පරතරවලින් අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි. මෙම කාලය තුළ 0, 4, 8 සහ 10 යන සතිවල දී පහත තක්සේරු සිදු කරන ලදි: විමර්ශකයා විසින් සමස්ත කැළැල් ලකුණු (GSS) තක්සේරුව ද, චර්ම රෝග විශේෂඥයකු විසින් වර්ණමීටරයක් භාවිතයෙන් ඇක්නි කැළැල්වල වර්ණය / රතු පැහැය මැනීම, ස්නේහමීටරයක් භාවිතයෙන් ස්නේහ ද්‍රව්‍ය මට්ටම් මැනීම, ලප කැළැල් සහ ප්‍රදාහක තුවාල ගණන ලේඛනගත කිරීම ද සිදු කරන ලදි. පරීක්‍ෂාවට පැමිණි සෑම අවස්ථාවකදීම පුද්ගලයන් ස්වයං-තක්සේරු ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කරන ලදි.

ප්‍රතිඵලය

සායනික ශ්‍රේණිගත කිරීමේ දී ලැබුණු හොඳම ප්‍රතිඵලය වූයේ සමෙහි එරිතිමාව හෙවත් රතු පැහැයෙහි පෙනුම වැඩි දියුණු කර, සමස්තයක් ලෙස සම දීප්තිමත් කිරීමට Bio‑Oil® Skincare Oil නිෂ්පාදනයට ඇති හැකියාව යි. ස්වයං-තක්සේරු ප්‍රශ්නාවලියේ ප්‍රතිඵලවලින් හෙළි වූයේ පුද්ගලයන් 84% කට වැඩි පිරිසකගේ ඇක්නි කැළැල් සහිත සමෙහි තත්ත්වය වැඩි දියුණු වූ බවත්, 90% කට වැඩි පිරිසකගේ කැළැල්වල වර්ණය වැඩි දියුණු වූ බවත් ය. ඇක්නි ගණන සහ ස්නේහ ද්‍රව්‍ය මිනුම් ප්‍රතිශතය මගින් පෙන්නුම් කළේ Bio‑Oil® Skincare Oil භාවිත කිරීමෙන් ඇක්නි හටගැනීමේ හෝ ස්නේහ ශ්‍රාවයේ ඉහළ යාමක් සිදු නොවන බව යි.

ඇදීම් සලකුණු සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

ව්‍යවහාරික චර්ම රෝග පර්යේෂණ සඳහා වූ Proderm ආයතනය, හැම්බර්ග්, ජර්මනිය.

අරමුණ

ඇදීම් සලකුණුවල පෙනුම වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් Bio‑Oil® Skincare Oil වල සඵලත්වය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 38 දෙනෙක්. ඇදීම් සලකුණු ඇතිවීමට හේතු: විවිධ හේතු (පශ්චාත් ගර්භණී සමය, බර වැඩිවීම හෝ නව යොවුන් වියේ හදිසි වර්ධනය). ඇදීම් සලකුණු පිහිටි ස්ථාන: උදරය, කලවා සහ උකුල්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65.

ක්‍රමවේදය

ද්විත්ව-අඥාත, සසම්භාවීකෘත, ඔසු පිරික්සුම් පාලකයක් සහිත අධ්‍යයනය. යොදාගත් පුද්ගලයන් ඇදීම් සලකුණුවලට යොදන නිෂ්පාදනය එම සලකුණු මත අඩ බැගින් ගල්වා එම අර්ධ ඔවුන් අතරේ සංසන්දනය කළ හැකි, සුදුසු විශාලත්වයකින් යුතු ඇදීම් සලකුණක් හෝ සලකුණු කිහිපයක් සහිත පුද්ගලයන් විය. නිෂ්පාදනය සති 8ක් පුරා දිනපතා දෙවරක් ගල්වන ලද අතර, ඉලක්කගත ප්‍රදේශයෙහි අමතර සම්බාහනය කිරීමක් සිදු නොකෙරිණි. නිෂ්පාදනය ගැල්වීම නියත කාල පරතරවලින් අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි. සති 0, 2, 4 සහ 8 යන කාලවල දී තක්සේරු සිදු කරන ලදි. රෝගියාගේ සහ නිරීක්‍ෂකයාගේ කැළැල් තක්සේරු පරිමාණය (POSAS) තුළ විස්තර කර ඇති විවිධ කැළැල් පරාමිතීන් ඇගයීමට ලක් කරන ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Skincare Oil මගින් ඇදීම් සලකුණුවල පෙනුම ඵලදායී ලෙස වැඩි දියුණු කරයි. පුද්ගලයන්ගෙන් 95% ක් තුළ සති 2ක (15 වන දිනය) පමණ කාලයකින් සංඛ්‍යාන වශයෙන් වෙසෙසි ප්‍රතිඵලයක් පැහැදිලිව දක්නට ලැබිණි. සති 8 කට පසු (57 වන දිනය), පුද්ගලයන්ගෙන් 100% ක්ම වැඩි දියුණුවක් පෙන්නුම් කළ අතර, එය සති 2 දී පෙන්වූ ප්‍රතිඵලය මෙන් දෙගුණයකට ඉහළ වැඩි දියුණුවකි. අධ්‍යයන කාලය පුරා POSS අඛණ්ඩ වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි.

සමෙහි අසමාකාර වර්ණය සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Thomas J. Stephens & Associates, Inc., ටෙක්සාස්, ඇමරිකා එක්සත් ජනපදය.

අරමුණ

මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ (වියපත් වන) සමක් ඇති කාන්තාවන් විසින් භාවිත කරන විට, සමෙහි අසමාකාර වර්ණය සහ පුල්ලි සහිත වර්ණීකරණයේ පෙනුම වැඩි දියුණු කිරීමේ දී Bio‑Oil® Skincare Oil වල සඵලත්වය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ බවට සායනිකව නිර්ණය කළ, විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 67 දෙනෙක්. Bio‑Oil® Skincare Oil මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයන් 35 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයන් 32 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 30–70.

ක්‍රමවේදය

සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයන් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදි. සති 12ක් පුරා දිනකට දෙවරක් මුහුණේ සහ බෙල්ලේ නිෂ්පාදනය ගල්වන ලදි. මූලික අවස්ථාවේ දී නිෂ්පාදනය ගැල්වීම අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි. 0, 2, 4, 8 සහ 12 සතිවල දී සායනික ඇගයීම් සිදු කරන ලදි. පුද්ගලයන් මුහුණේ සහ බෙල්ලේ සමෙහි අසමාකාර වර්ණය සහ පුල්ලි සහිත වර්ණීකරණය සඳහා සායනිකව වෙන වෙනම ශ්‍රේණිගත කරන ලදි.

ප්‍රතිඵලය

සූර්ය රශ්මියෙන් හානි වූ (වියපත් වන) සමෙහි අසමාකාර වර්ණයක් සහ පුල්ලි සහිත වර්ණීකරණය සහිත සමේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil සඵලදායී වේ. සති 4 කට පසු මුහුණේ සහ බෙල්ලේ සමෙහි පරාමිතීන් සඳහා සංඛ්‍යාන වශයෙන් වෙසෙසි ප්‍රතිඵලයක් ලැබිණි. සති 12 කට පසු, Bio‑Oil® Skincare Oil ප්‍රතිකාර කාණ්ඩය තුළ මුහුණේ සමෙහි අසමාකාර වර්ණයක් සහිත පුද්ගලයන්ගෙන් 86% ක්, මුහුණේ පුල්ලි සහිත වර්ණීකරණයක් ඇති පුද්ගලයන්ගෙන් 71% ක්, බෙල්ලේ සමෙහි අසමාකාර වර්ණයක් සහිත පුද්ගලයන්ගෙන් 69% ක් සහ බෙල්ලේ පුල්ලි සහිත වර්ණීකරණයක් ඇති පුද්ගලයන්ගෙන් 60% ක් සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි.

වියපත් වන සම සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Thomas J. Stephens & Associates, Inc., ටෙක්සාස්, ඇමරිකා එක්සත් ජනපදය.

1 වන අධ්‍යයනය: මුහුණ සහ බෙල්ල

අරමුණ

මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ (වියපත් වන) සමක් ඇති කාන්තාවන් විසින් Bio‑Oil® Skincare Oil භාවිත කරන විට එහි සඵලත්වය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ බවට සායනිකව නිර්ණය කළ, විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 67 දෙනෙක්. Bio‑Oil® Skincare Oil මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයන් 35 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයන් 32 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 30–70.

ක්‍රමවේදය

සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයන් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදි. සති 12ක් පුරා දිනකට දෙවරක් මුහුණේ සහ බෙල්ලේ නිෂ්පාදනය ගල්වන ලදි. මූලික අවස්ථාවේ දී නිෂ්පාදනය ගැල්වීම අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි. 0, 2, 4, 8 සහ 12 සතිවල දී සායනික ඇගයීම් සිදු කෙරිණි. යොදාගත් පුද්ගලයන්ගේ මුහුණේ සහ බෙල්ලේ සම පහත දැක්වෙන සඵලතා පරාමිතීන් සඳහා වෙන වෙනම ශ්‍රේණිගත කරන ලදි: සමස්ත පෙනුම, සිහින් රේඛා, ගොරෝසු රැළිවැටීම්, පුල්ලි සහිත වර්ණීකරණය, සමෙහි අසමාකාර වර්ණය, දෘශ්‍ය රළුබව / සුමට බව, ස්පර්ශීය රළුබව / සුමට බව, දැඩි පෙනුම සහ පැහැදිලි බව (සුදුමැලි බව).

ප්‍රතිඵලය

මුහුණේ සහ බෙල්ලේ ඇති සූර්ය රශ්මියෙන් හානි වූ (වියපත් වන) සමෙහි සමස්ත පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil සඵලදායී වේ. සති 8 කට පසු සමෙහි සායනිකව ශ්‍රේණිගත කරන ලද සඵලතා පරාමිතීන් සඳහා සංඛ්‍යාන වශයෙන් වෙසෙසි ප්‍රතිඵලයක් ලැබිණි. සති 12 කට පසු Bio‑Oil® Skincare Oil ප්‍රතිකාර කාණ්ඩයේ පුද්ගලයන්ගෙන් 94% ක මුහුණේ සමස්ත පෙනුමේ සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් ද, පුද්ගලයන් 80% ක බෙල්ලේ සමස්ත පෙනුමේ සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් ද පෙන්නුම් කරන ලදි.

2 වන අධ්‍යයනය: ශරීරය

අරමුණ

සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ (වියපත් වන) සමක් ඇති කාන්තාවන් විසින් පපු ප්‍රදේශයේ, පාදයේ පහළ කොටසේ සහ අතේ සම මත Bio‑Oil® Skincare Oil භාවිත කරන විට එහි සඵලත්වය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: මුහුණේ සහ බෙල්ලේ සූර්ය රශ්මියෙන් මෘදු ලෙස හා මධ්‍යස්ථ ලෙස හානි වූ බවට සායනිකව නිර්ණය කළ, විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 67 දෙනෙක්. Bio‑Oil® Skincare Oil මගින් ප්‍රතිකාර කළ කාණ්ඩයට පුද්ගලයන් 35 දෙනෙක් ඇතුළත් වූ අතර ප්‍රතිකාර නොකළ කාණ්ඩයට පුද්ගලයන් 32 දෙනෙක් ඇතුළත් විය. සහභාගීන්ගේ වයස: අවුරුදු 30–70.

ක්‍රමවේදය

සසම්භාවීකෘත, පාලිත, සඵලතා ඇගයුම්කරු-අඥාත අධ්‍යයනය. අදාළ පුද්ගලයන් මූලික නිවාරක ඇගයීමකට හා ඉන්පසු සති 1 ක ප්‍රතිකාර රහිත කාලයකට යටත් කරන ලදි. නිෂ්පාදනය සති 12ක් පුරා දිනකට දෙවරක් පපු ප්‍රදේශය, පාදවල පහළ කොටස සහ අත්වල ගල්වන ලදි. මූලික අවස්ථාවේ දී නිෂ්පාදනය ගැල්වීම අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි. 0, 2, 4, 8 සහ 12 සතිවල දී සායනික ඇගයීම් සිදු කෙරිණි. යොදාගත් පුද්ගලයන්ගේ පපු ප්‍රදේශය, පාදවල පහළ කොටස, සහ දෑත් වෙන වෙනම පහත සඵලතා පරාමිතීන් සඳහා සායනිකව ශ්‍රේණිගත කරන ලදි: සමස්ත පෙනුම, crêpey වයනය, වියළි බව / පොතු ගැලවීම, දෘශ්‍ය රළුබව / සුමට බව සහ ස්පර්ශීය රළුබව / සුමට බව.

ප්‍රතිඵලය

සිරුරේ ඇති සූර්ය රශ්මියෙන් හානි වූ (වියපත් වන) සමෙහි සමස්ත පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil සඵලදායී වේ. සති 4 කට පසු සමෙහි සායනිකව ශ්‍රේණිගත කරන ලද සඵලතා පරාමිතීන් සඳහා සංඛ්‍යාන වශයෙන් වෙසෙසි ප්‍රතිඵලයක් ලැබිණි. සති 12 කට පසු, Bio‑Oil® Skincare Oil ප්‍රතිකාර කාණ්ඩයේ පුද්ගලයන්ගෙන් 89% ක් පපු ප්‍රදේශයේ, පාදවල පහළ කොටසේ සහ අත්වල සමස්ත පෙනුමෙහි සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි.

විජලනය වූ සම සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

දකුණු අප්‍රිකාවේ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ප්‍රකාශ ජෛව විද්‍යා රසායනාගාරය.

1 වන අධ්‍යයනය: කොරොස් ස්තරයේ සජලන හා බාධක කෘත්‍යය

අරමුණ

කොරොස් ස්තරයේ (SC) සජලනය සහ බාධක කෘත්‍යය වැඩි දියුණු කිරීම සඳහා Bio‑Oil® Skincare Oil එක් වරක් ආලේප කිරීමේ බලපෑම තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තා සහභාගීන් 40 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු පුද්ගලයන්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තෙහි ගල්වන ලදි. සහභාගීන්ගේ වයස: අවුරුදු 25–65.

ක්‍රමවේදය

මූලික මිනුම ලෙස කෝනියෝමීටරයක් භාවිතයෙන් සමෙහි සජලනය තක්සේරු කිරීම, ද්විතියික මිනුමක් ලෙස වාෂ්පමීටරයක් භාවිතයෙන් බාධක කෘත්‍යය තක්සේරු කිරීම. සමේ වියළි බව උත්තේජනය කිරීම සඳහා, මිනුම් ලබා ගැනීමට පැය 2 කට පෙර සහභාගීන් තම යටි බාහුව සබන් යොදා සෝදා ගන්නා ලදි. මූලික උපකරණීය මිනුම ලබා ගන්නා ලදි. ඉන්පසු Bio‑Oil® Skincare Oil සහ පාලක තෙලක් සියලු පුද්ගලයන්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තේ වෙන වෙනම ස්ථානවල ගල්වන ලදි. නිෂ්පාදන ගැල්වූ වහාම සහ ගල්වා පැය 2 කට පසුව, නිෂ්පාදන පිස දැමීමට පෙර සහ පසු මිනුම් නැවත ලබා ගන්නා ලදි. සෑම අවස්ථාවකදීම, ප්‍රතිකාර නොකළ පාලක ප්‍රදේශයක ද මිනුම් ලබා ගන්නා ලදි.

ප්‍රතිඵලය

නිෂ්පාදන ගැල්වූ වහාම ලබාගත් මිනුම්වල දී, ප්‍රතිකාර නොකළ පාලක ප්‍රදේශයට සාපේක්‍ෂව, තෙල් වර්ග දෙකෙන්ම අපිචර්මය හරහා ජල හානිය (TEWL) අඩු කරන ලදි. පැය 2 ක පූර්ව පිසදැමුම් කාල ලක්ෂ්‍යයේ දී සමේ ධාරිතා අගයන් ඉහළ යාමෙන් පෙන්නුම් කළේ, තෙල් වර්ග දෙකෙන්ම සමේ සජලනය ඉහළ නංවන බව යි. පැය දෙකකට පසු සම මතුපිටින් තෙල් පිස දැමීමෙන් අනතුරුව, පාලක තෙල හා සසඳන විට Bio‑Oil® Skincare Oil මගින් TEWL අගයන් තවදුරටත් ඉහළ නංවන ලද අතර, එයින් පෙන්නුම් කළේ තෙතමනය මුදා හැරීම ඉහළ ගොස් ඒ හේතුවෙන් සමේ සජලනය වැඩි වූ බව යි.

2 වන අධ්‍යයනය: වියළි සමේ පෙනුම

අරමුණ

සම තෙත් කිරීමේ ක්‍රියාකාරිත්වය සහ වියළි සමට සහනය ලබා දීම සඳහා Bio‑Oil® Skincare Oil දිනපතා දෙවරක් ගැල්වීමේ බලපෑම තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: පාදවල පහළ කොටසේ පැතිවල සායනිකව වියළි / ඉතා වියළි විශල්කනය වූ සමක් ඇති කාන්තා සහභාගීන් 25 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු පුද්ගලයන්ගේ පාදයේ පහළ, පිටත කොටසෙහි ගල්වන ලදි. සහභාගීන්ගේ වයස: අවුරුදු 25–65.

ක්‍රමවේදය

වියළි සම උත්තේජනය කිරීමට දින 7 ක කාලයක් පුරා සබන් භාවිත කරන ලදි. Bio‑Oil® Skincare Oil සහ පාලක තෙලක් දිනපතා දෙවරක් ගල්වන ලදි. 1 සහ 3 දිනවල දී සමේ තක්සේරු කිරීම් සිදු කරන ලදි. පුහුණු දෘශ්‍ය ඇගයුම්කරුවෙකු විසින් 2x විශාලන ලාම්පුවක් භාවිත කරමින් දෘශ්‍ය ඇගයීම් සිදු කරන ලදි. ප්‍රතිකාර නොකළ පාලක ස්ථානයක් ද සෑම කාල ලක්ෂ්‍යයකදී ම ඇගයීමට ලක් කරන ලදි.

ප්‍රතිඵලය

ප්‍රතිකාර නොකළ පාලකයට සාපේක්‍ෂව, Bio‑Oil® Skincare Oil සහ පාලක තෙල් යන දෙකෙන්ම වියළි සමෙහි තත්ත්වය වැඩි දියුණු කරන ලදි. Bio‑Oil® Skincare Oil 3 වන දින සංඛ්‍යානමය වශයෙන් උසස් ප්‍රතිඵල පෙන්වන ලදි. Bio‑Oil® Skincare Oil භාවිතයෙන් ප්‍රතිකාර කළ සමේ ස්ථානවල දෘශ්‍ය පෙනුමෙහි ඇති වූ සැලකිය යුතු වැඩි දියුණුව මගින් වියළි සමට සහනය ලබා දීම සම්බන්ධයෙන් එහි ඵලදායීතාව තහවුරු විය.

සංයුක්ත අධ්‍යයන ප්‍රතිඵලය

2 වන අධ්‍යයනයේ දී Bio‑Oil® Skincare Oil ගල්වන ලද වියළි සමේ දෘශ්‍ය පෙනුමෙහි ඇති වූ සැලකිය යුතු දියුණුව මගින් සනාථ වන්නේ වියළි සහ විජලනය වූ සමට සහනයක් ලබා දීමට එහි ඇති කාර්යක්‍ෂම බව යි. අධ්‍යයනයන් දෙකේදී ම කොරොස් ස්තරයේ බාධක කෘත්‍යයෙහි සහ සමේ ධාරිතා බලයෙහි වැඩි දියුණුව මගින් මේ බව තවදුරටත් සනාථ කරයි.

සංවේදී සම සඳහා පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Skincare Oil මගින් සමෙහි දැවිල්ලක් ඇති කිරීමට ඇති හැකියාව තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 25 දෙනෙක්; එනම් ලැක්ටික් අම්ල දෂ්ටන පරීක්‍ෂාවට අනුව සංවේදී සමක් ඇති කාන්තාවන් 19 දෙනෙක් සහ පිරිමි 6 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–70.

ක්‍රමවේදය

සසම්භාවීකෘත සහ පාලිත අධ්‍යයනය. සෘණ පාලකයක් යොදන ලද ප්‍රදේශයක් (ඛනිජහරණය කළ ජලය) සහ Bio‑Oil® Skincare Oil ගැල්වූ ප්‍රදේශයක් ලෙස ප්‍රදේශ දෙකක් ඇගයීමට ලක් කරන ලදි. Finn Chamber® භාවිත කරමින්, අත්හදා බලනු ලබන නිෂ්පාදනය පැය 48 ක කාලයක් පුරා සහභාගීන්ගේ අතේ පිටුපස ප්‍රදේශයේ ගල්වා තබන ලදි. පැච් ඉවත් කිරීමෙන් පසු මිනිත්තු 15 දී, පැය 1 දී සහ පැය 24 දී ප්‍රාථමික සමෙහි දැවිල්ල තක්සේරු කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර ඇගයීමට ලක් කරන ලදි. සමෙහි ප්‍රතිචාර 0–4 දක්වා පරිමාණයෙන් (එරිතිමාව, ඉදිමුම හෝ වෙනත් ආකාරයේ සමෙහි දැවිල්ලක් නොමැති නම් 0, සහ නිෂ්පාදනය ගැල්වූ ප්‍රදේශයට ඔබ්බෙහි තද රතු පැහැති පෙනුම සහ පැතිරුණු ඉදිමුමක් පෙන්නුම් කරන බරපතල එරිතිමා සහ ඉදිමුම් තත්ත්වයක් නම් 4) ශ්‍රේණිගත කරන ලදි.

ප්‍රතිඵලය

සමෙහි Bio‑Oil® Skincare Oil වලට ඔරොත්තු දීමේ හැකියාව 'දැවිල්ල ඇති නොකරන' බවට නිර්ණය කරන ලදි.

ලප කැළැල් නොසෑදීම පිළිබඳ පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Skincare Oil ඇක්නි සහ ලප කැළැල් (කුරුලෑ) හටගැනීමට හේතු වන්නේ දැයි පරීක්‍ෂා කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 20 දෙනෙක්; එනම් ඇක්නිජනක සමක් ඇති විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තාවන් 14 දෙනෙක් සහ පිරිමි 6 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65.

ක්‍රමවේදය

සසම්භාවීකෘත සහ පාලිත අධ්‍යයනය. පෙරහන් කඩදාසි තැටියක් මත ගල්වන ලද නිෂ්පාදනය, සහභාගීන්ගේ පිටේ ඉහළ ප්‍රදේශයෙහි යොදන ලදි. පැච් අදාළ ස්ථානයේ පැය 48 සිට 72 දක්වා කාලයක් තිබෙන්නට හැර, ඉවත් කර නැවත යොදන ලදි. අඛණ්ඩව සති 4ක් පුරා පැච් 12ක් යොදන ලදි. සෘණ පාලකයක් (ඛනිජහරණය කළ ජලය), අත්හදා බලනු ලබන නිෂ්පාදනය (Bio‑Oil® Skincare Oil), සහ ධන පාලකයක් (ප්‍රසිද්ධ ලප කැළැල් සාදන ද්‍රව්‍යයක් වන ලැනොලින් මද්‍යසාර) සංසන්දනය කරමින් ප්‍රදේශ තුනක් ඇගයීමට ලක් කරන ලදි. එක් එක් නිෂ්පාදනය ගැල්වීමට පෙර සහ පසු ලප කැළැල් සෑදීම සංසන්දනය කිරීම සඳහා, එක් එක් පැච් එක ඉවත් කිරීමෙන් මිනිත්තු 15 කට පසු චර්ම රෝග විශේෂඥයකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර සායනිකව ඇගයීමට ලක් කරන ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Skincare Oil මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි. Bio‑Oil® Skincare Oil යෙදූ ප්‍රදේශය සෘණ පාලක ප්‍රදේශයට වඩා සැලකිය යුතු වෙනසක් නො පෙන්වීය. ධන පාලකයෙන් ඇක්නි හටගැනීම උත්තේජනය විය.

අවශෝෂණය පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

ව්‍යවහාරික චර්ම රෝග පර්යේෂණ සඳහා වූ Proderm ආයතනය, හැම්බර්ග්, ජර්මනිය.

1 වන අධ්‍යයනය: පුහුණු ශ්‍රේණිගත කරන්නන්

අරමුණ

Bio‑Oil® Skincare Oil සම මත ප්‍රාමාණිකව ගල්වා සම්බාහනය කළ පසු එහි අවශෝෂණය වීමේ ශීඝ්‍රතාව තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: පුහුණු ශ්‍රේණිගත කරන්නන් 22 දෙනෙක්; කාන්තාවන් 21දෙනෙක් සහ පිරිමි 1 අයෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු ශ්‍රේණිගත කරන්නන්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තෙහි ගල්වන ලදි. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–70.

ක්‍රමවේදය

ද්විත්ව-අඥාත, සසම්භාවීකෘත, පාලිත අධ්‍යයනය. Bio‑Oil® Skincare Oil සහ පාලක තෙලක් ශ්‍රේණිගත කරන්නන්ගේ යටි බහුවල ඇතුල් පැත්තේ නියමිත අත්හදා බැලීමේ ප්‍රදේශවල ගල්වන ලදි. ගැල්වූ ස්ථානවල ශ්‍රේණිගත කරන්නන් විසින් නිශ්චිත වේගයකින් රවුම් චලිතයකින් සම්බාහන 100ක් සිදු කරන ලදි. ඉන්පසු ශ්‍රේණිගත කරන්නන් විසින් නිෂ්පාදයේ අවශෝෂණය 'ඉතා මන්දගාමී අවශෝෂණයේ' සිට 'ඉතා වේගවත් අවශෝෂණය' දක්වා වූ ආකාර 5 ක පරිමාණයකින් ශ්‍රේණිගත කරන ලදි. සමේ ඇති තෙල් ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා, නිෂ්පාදනය ගැල්වීමට පෙර සහ නිෂ්පාදන ගල්වා මිනිත්තු 2 කට පසුව කාල ලක්ෂ්‍ය දෙකක දී ස්නේහමිටර මිනුම් ලබා ගන්නා ලදි.

ප්‍රතිඵලය

පුහුණු ශ්‍රේණිගත කරන්නන්ගෙන් බහුතරයක් (77.3%) විසින් Bio‑Oil® Skincare Oil සම තුළට අවශෝෂණය කර ගැනීමේ හැකියාව 'ඉතා වේගවත්' හෝ 'වේගවත්' ලෙස තක්සේරු කරන ලදි. සම මත ඉතිරිව ඇති Bio‑Oil® Skincare Oil ප්‍රමාණය පාලක තෙලට සාපේක්‍ෂව සැලකිය යුතු ලෙස අඩු බව, දෙවන කාල ලක්ෂ්‍යයේ දී සිදු කළ ස්නේහමිටර කියවීම් හරහා ලබාගත් උපකරණීය මිනුම මගින් තහවුරු කරන ලදි.

2 වන අධ්‍යයනය: පාරිභෝගික මඩුල්ල

අරමුණ

Bio‑Oil® Skincare Oil සම මත ප්‍රාමාණිකව ගල්වා සම්බාහනය කළ පසු එහි අවශෝෂණය වීමේ ශීඝ්‍රතාව තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 100 දෙනෙක්; කාන්තාවන් 97 දෙනෙක් සහ පිරිමි 3 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය: අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු සහභාගීන්ගේ යටි බාහුවේ ඇතුල් පැත්තෙහි ගල්වන ලදි. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–70.

ක්‍රමවේදය

ද්විත්ව-අඥාත, සසම්භාවීකෘත, පාලිත අධ්‍යයනය. Bio‑Oil® Skincare Oil සහ පාලක තෙලක් සහභාගීන්ගේ යටි බහුවල ඇතුල් පැත්තේ නියමිත අත්හදා බැලීමේ ප්‍රදේශවල ගල්වන ලදි. අත්හදා බලනු ලබන නිෂ්පාදනය සහභාගීන් විසින් විනාඩියකට එක් වරක් බැගින් සම්බාහනය කරන ලදි. ඉන්පසු සහභාගීන් විසින් නිෂ්පාදයේ අවශෝෂණය 'ඉතා මන්දගාමී අවශෝෂණයේ' සිට 'ඉතා වේගවත් අවශෝෂණය' දක්වා වූ ආකාර 5 ක පරිමාණයකින් ශ්‍රේණිගත කරන ලදි.

ප්‍රතිඵලය

සහභාගීන්ගෙන් බහුතරයක් (72%) විසින් Bio‑Oil® Skincare Oil සම තුළට අවශෝෂණය කර ගැනීමේ හැකියාව 'ඉතා වේගවත්' හෝ 'වේගවත්' ලෙස තක්සේරු කරන ලදි.

නිරෝධකතාව පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

පරීක්ෂණය සිදු කරන ලද්දේ ඉතාලියේ මිලාන් නුවර Rigano Laboratories හි මහාචාර්ය දොස්තර J Wiechers විසිනි.

අරමුණ

Bio‑Oil® Skincare Oil කෛලාට කුක්කුහය හා සමාන නිරෝධකතා මට්ටමක් පෙන්නුම් කරන්නේ දැයි තක්සේරු කිරීම. කෛලාට කුක්කුහය (vernix caseosa) රූපලාවණ්‍ය විද්‍යාඥයන් විසින් සම තෙත් කිරීමේ 'රන් ප්‍රමිතිය' ලෙස පුළුල් ලෙස සලකනු ලබන්නේ එහි ඇති පරිපූර්ණ නිරෝධකතා මට්ටම හේතුවෙනි.

ක්‍රමවේදය

මිනිස් සමේ මතුපිට ගුණාංග අනුකරණය කරන Vitro-Skin නම් අර්ධ පාරගම්‍ය පටලයකින් ආවරණය කළ බීකර තුළ, දන්නා ජල ප්‍රමාණයන් තැන්පත් කරන ලදි. කෛලාට කුක්කුහය සහ Bio‑Oil® Skincare Oil සම ප්‍රමාණවලින් මෙම පටලය මත ගල්වා, කාලයත් සමග බීකරවල ජල හානි ශීඝ්‍රතාව මනිනු ලැබී ය. පටලය මත කිසිදු නිෂ්පාදනයක් නොගල්වා තිබිය දී ජල හානි ශීඝ්‍රතාව සමග මෙම අගයන් සංසන්දනය කරන ලදි. එක් එක් නිෂ්පාදනය සඳහා ජල වාෂ්ප හුවමාරු ශීඝ්‍රතාව ගණනය කර g/m²/h ඒකකයෙන් දක්වන ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Skincare Oil මගින් කෛලාට කුක්කුහයට ඉතා සමාන නිරෝධකතා මට්ටමක් පෙන්නුම් කරන ලද්දේ කෛලාට කුක්කුහයේ 23.5ක් වූ අගයට සාපේක්‍ෂව 27.2 ක අගයක් සටහන් කරමිනි.

ගැල්වීම

ගල්වන ආකාරය

Bio‑Oil® Skincare Oil මුහුණ හෝ ශරීරය මත ගල්වා සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් රවුමට පිරිමදිමින් සම්බාහනය කළ යුතු ය. අවම වශයෙන් මාස තුනක් පුරා නිෂ්පාදනය දිනපතා දෙවරක් ගැල්වීමට නිර්දේශ කෙරේ. Bio‑Oil® Skincare Oil විවෘත තුවාලයක හෝ කැඩුණු සම මත ගැල්වීම නොකළ යුතු ය. එය කාලීන රූපලාවණ්‍ය කටයුතු සඳහා ගැල්වීමට පමණක් නියම කෙරේ. එය මතුපිට සමෙහි කැළලක් සම්පූර්ණයෙන්ම සුව වූ වහාම ඒ මත ගැල්වීම සඳහා ආරක්‍ෂිත වේ. එහි ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇස්වල තැවරීමෙන් වළකින්න. යම් හෙයකින් ඇස්වල තැවරුණහොත් පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා හරින්න. ළමුන්ට ළඟා විය නොහැකි ස්ථානයක තබන්න.

භාවිත කළ යුතු කාලය

Bio‑Oil® Skincare Oil හි සායනික පරීක්‍ෂණ සති 8-12 අතර කාලයක් පුරා සිදු කර ඇත්තේ, කාලයත් සමග නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීමට ඉඩ සලසමිනි. සංඛ්‍යානමය විශ්ලේෂණය මගින්, සති 2ක් වැනි කෙටි කාලයකට පසු සමේ පෙනුමෙහි සැලකිය යුතු වැඩි දියුණුවක් පෙන්නුම් කරන බවත්, මෙම වැඩි දියුණුව අත්හදා බැලීම සිදු කළ කාලය පුරා දිගටම පැවතුණු බව හෝ ඉහළ ගිය බවත් පෙන්නුම් කරයි. කෙසේ නමුත් Bio‑Oil® Skincare Oil අඛණ්ඩව භාවිත කිරීම සිදු කළ හැක.

සම ආරක්‍ෂණ පිළිවෙතක් සමග ඒකාබද්ධව භාවිත කිරීම

උපරිම අවශෝෂණය සඳහා, පිරිසිදු කළ සම මත Bio‑Oil® Skincare Oil ගැල්වීම කළ යුතු ය. 'සාර්ථකත්වය වැඩිකර ගැනීම' සඳහා Bio‑Oil® Skincare Oil වෙනත් නිෂ්පාදන සමඟ මිශ්‍ර කර ගැල්වීම එහි සඵලත්වයට අහිතකර ලෙස බලපායි. මොයිස්චරයිසරයක්, සූර්‍යාලෝකයෙන් සම සුරකින ලෝෂණයක් හෝ මූණේ ආලේප කරන වෙනත් ක්‍රීම් වර්ගයක් ගල්වන්නේ නම්, Bio‑Oil® Skincare Oil සම්පූර්ණයෙන් සමට අවශෝෂණය වූ පසු පමණක් ඒවා ගල්වන්න. ඇඟ සේදීමෙන් හෝ ස්නානය කිරීමෙන් පසු Bio‑Oil® Skincare Oil ශරීරය පුරා ගැල්වීම සිදු කරන්න.

ගර්භණී සමය තුළ භාවිත කිරීම

ගර්භණීභාවය හේතුවෙන් ශරීරයේ ඕනෑම තැනක ඇදීම් සලකුණු ඇතිවිය හැකි නමුත් උදරය, කලවා, ඉණ, පිටේ පහළ කොටස, තට්ටම් සහ පියයුරුවල ඒවා ඇතිවීමේ හැකියාව වැඩි ය. ගර්භණීභාවය හේතුවෙන් ඇතිවන ඇදීම් සලකුණු හටගැනීම වළක්වා ගැනීමට උපකාරී වීම සඳහා, පළමු ත්‍රෛමාසිකය ආරම්භයේ සිට දරු උපතින් පසු කාලය දක්වා මෙම ප්‍රදේශවල Bio‑Oil® Skincare Oil දිනකට දෙවරක් ගැල්වීමට නිර්දේශ කරනු ලැබේ. නිතිපතා යොදන Bio‑Oil® Skincare Oil නිතිපතා ගැල්වීමෙන් pruritis gravidarum සමග එන කසනසුලු සහ විජලනය වූ සමට ක්‍රියාකාරී සහනයක් ලබා දෙනු ඇත. ගර්භණී සමයේ දී සිදුවන හෝමෝන උච්චාවචනයන් හේතුවෙන් ඇතිවන සමෙහි අසමාකාර වර්ණය සඳහා ද එය භාවිත කළ හැක.

විටමින් A සහ ගර්භණීභාවය

ගර්භණී සමයේ දී කාන්තාවන්ට විටමින් A පෝෂණ අතිරේක සීමා කිරීමට නිර්දේශ කරනු ලබන බැවින් විටමින් A සහිත සම ආරක්‍ෂණ නිෂ්පාදන භාවිත කිරීමෙන් ගැටළු උද්ගත විය හැක. සමෙහි ගල්වන ඕනෑම ද්‍රව්‍යයක් හානිකර වන්නේ එම ද්‍රව්‍යය එහි විෂවිද්‍යා සීමාවට වඩා ඉහළ මට්ටමක පවතී නම් පමණි. සම හරහා ද්‍රව්‍ය විනිවිද යාමට සම සැලකිය යුතු බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කාලීනව ගල්වනු ලබන විටමින් A වලින් ශරීරය තුළට ඇතුල් වන්නේ සුළු ප්‍රමාණයක් පමණි. යුරෝපා කොමිසමේ පාරිභෝගික ආරක්‍ෂණය පිළිබඳ විද්‍යාත්මක කමිටුව (SCCS) රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විටමින් A සහ එහි එස්ටර ඇගයීමට ලක් කර ඇත. මෙහි දී SCCS හි මතය වන්නේ බොඩි ලෝෂණ තුළ විටමින් A භාවිතය, රෙටිනෝල් සමක 0.05% ක උපරිම සාන්ද්‍රණයක් දක්වා ආරක්‍ෂිත බව යි. Bio‑Oil® Skincare Oil වට්ටෝරුවේ ඇති විටමින් A ප්‍රමාණය බොඩි ලෝෂණ සඳහා වන උපරිම අනුමත සන්ද්‍රණයට වඩා අඩු මට්ටමක පවතින අතර, එය ගර්භණී කාලය පුරාවටම ආරක්‍ෂිතව භාවිත කළ හැකි ය. විටමින් A අන්තර්ගතය අඩු මට්ටමක පැවතීමෙන්, Bio‑Oil® Skincare Oil මගින් ගර්භණී කාන්තාවන්ට කිසිදු ආරක්‍ෂණ අවදානමකින් තොරව විටමින් A හි ප්‍රතිලාභ ලබා දෙයි.

රෝස්මරි තෙල් සහ ගර්භණීභාවය

ඉහළ සාන්ද්‍රණවලින් යුත් රෝස්මරි තෙල් ඔසප්කාරකයක් ලෙස ක්‍රියා කරන බව සොයාගෙන ඇති අතර, එයින් අදහස් වන්නේ එයට ඔසප් වීම උත්තේජනය කිරීමට මෙන්ම සමහර විට කල්තියා ප්‍රසව වේදනා ඇති කිරීමට හැකියාව ඇති බව යි. ඉහළ සාන්ද්‍රණ සහිත රෝස්මරි තෙල් භාවිත කරන ශාකසාර තෛල සම්බාහකයන් සහ නිඝන්ඩුවේදීන් ගර්භණී සමය තුළ එය භාවිත නොකිරීමට නිර්දේශ කරන්නේ එබැවිනි. කෙසේ නමුත් Bio‑Oil® Skincare Oil තුළ අඩංගු රෝස්මරි තෙල් සාන්ද්‍රණය ඉතා අඩු අතර, එබැවින් එය ගර්භණී සමය තුළ භාවිතය සඳහා ආරක්‍ෂිත වේ.

මව්කිරි දෙන කාලය තුළ භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil මව්කිරි දෙන කාලය තුළ සමෙහි ගැල්වීම සඳහා ආරක්‍ෂිත නමුත් එය තනපුඩු මත ගැල්වීමෙන් වැළකී සිටීමට නිර්දේශ කෙරේ. හානිකර බලපෑමක් ඇතිවීමේ හැකියාවක් නොමැති වුව ද, කුඩා ළදරුවන් ඉතා සංවේදී බැවින්, ඔවුන්ට Bio‑Oil® Skincare Oil ඉතා කුඩා ප්‍රමාණවලින් වුව ද ශරීරගත නොවිය යුතු ය.

ළදරුවන් සහ ළමුන් සඳහා භාවිත කිරීම

වයස අවුරුදු තුනට අඩු ළමුන් සඳහා Bio‑Oil® Skincare Oil භාවිත කිරීමේ ආරක්‍ෂිත බව පිළිබඳ තක්සේරු කර නොමැත. උපතින් පසු පළමු වසර කිහිපය තුළ, මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය ඇතුළු බොහෝ වෙනස්කම් සිදු වේ. එබැවින් මෙම නිෂ්පාදනය වයස අවුරුදු තුනක් හෝ ඊට වැඩි ළමුන් සඳහා පමණක් භාවිත කිරීමට නිර්දේශ කරනු ලැබේ. නිෂ්පාදනය දරුවන් සඳහා භාවිත කිරීමේ දී සැලකිලිමත් විය යුතු අතර, එය ඇස් හෝ මුඛය ආසන්නයේ ගැල්වීම නොකළ යුතු ය.

අව් රශ්මියේ භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil පිළිබඳ සිදු කරන ලද පරීක්‍ෂණවලින් පෙනී යන්නේ එයින් අව්වට සම පිළිස්සීම වැඩි වීමක් හෝ උග්‍ර වීමක් සිදු නොවන බව යි. එබැවින් එය අව් රශ්මියේ භාවිත කිරීම ආරක්‍ෂිත වේ. කෙසේ නමුත් මෙම නිෂ්පාදනයෙන් සූර්යයාගේ UVA සහ UVB කිරණවල හානිකර බලපෑම්වලට එරෙහිව කිසිදු ආරක්‍ෂාවක් නොලැබෙන බැවින් එය සූර්ය ආරක්‍ෂණ සාධකය (SPF) අවම වශයෙන් 30ක අගයක් සහිත පුළුල් පරාස සන්ස්ක්‍රීන් ආලේපනයක් සමග ඒකාබද්ධව භාවිත කිරීම වැදගත් වේ.

ශ්ලේෂ්මල පටල මත හෝ ඒ ආසන්නයේ භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil ශ්ලේෂ්මල පටලවල ස්පර්ශ වන පරිදි ගැල්වීම හැර අනෙකුත් සියලුම භාවිතයන් සඳහා ආරක්‍ෂිත බවට වර්ග කර ඇත.

විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව සමග ඒකාබද්ධව භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. විකිරණ චිකිත්සා හෝ රසායනික චිකිත්සා ප්‍රතිකාරවලට ලක්වන පුද්ගලයන් නිෂ්පාදනය භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ඖෂධ නිෂ්පාදන සමග ඒකාබද්ධව භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. ඖෂධ නිෂ්පාදන භාවිත කරන අතරතුර ඒ සමග ඒකාබද්ධව මෙම නිෂ්පාදනය භාවිත කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

සංවේදී සම මත භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil සංවේදී සම මත භාවිත කළ හැක. සංවේදී සමක් ඇති වයස අවුරුදු 18–65 අතර සහභාගීන් 25 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද සමෙහි දැවිල්ල පිළිබඳ අධ්‍යයනයක දී, කිසිදු පුද්ගලයකු වට්ටෝරුවට සම්බන්ධ කිසිදු අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ නොදුනි.

තෙල් සහිත සම මත භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil තෙල් සහිත සම මත භාවිත කළ හැක. වයස අවුරුදු 18–65 අතර ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සමක් සහිත සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Skincare Oil මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි.

ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සම මත භාවිත කිරීම

Bio‑Oil® Skincare Oil ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති මත භාවිත කළ හැක. වයස අවුරුදු 18–65 අතර ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සමක් සහිත සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Skincare Oil මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි. මුහුණේ අලුතින් හටගත් ඇක්නි කැළැල් සහිත වයස 14–30 අතර පුද්ගලයන් 44 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද ඇක්නි කැළැල් අධ්‍යයනයක දී; ඇක්නි ගණන සහ ස්නේහ ද්‍රව්‍ය මිනුම් ප්‍රතිශතය මගින් පෙන්නුම් කළේ Bio‑Oil® Skincare Oil භාවිත කිරීමෙන් ඇක්නි හටගැනීමේ හෝ ස්නේහ ශ්‍රාවයේ ඉහළ යාමක් සිදු නොවන බව යි. කෙසේ නමුත් සමෙහි ඇක්නිවලින් පීඩා විඳින්නන් Bio‑Oil® Skincare Oil භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

කැළැල් හටගැනීම

කැළලක් යනු සම තුවාල වීමෙන් පසු එය සුව වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ස්වාභාවිකව සිදුවන කොලැජන් වර්ධනය යි. කොලැජන් සෑදී ඇත්තේ ස්වාභාවිකව ඇති වන ප්‍රෝටීනවලින් වන අතර, එය ශරීරයේ ඇති සම්බන්ධක පටකවල ප්‍රධාන සංඝටකය වේ. සමෙහි තුවාලයක් සිදු වූ විට, එම බලපෑමට ලක් වූ ප්‍රදේශය අලුත්වැඩියා කිරීමට ශරීරය හැකිතාක් ඉක්මනින් ක්‍රියා කරනුයේ පරිපූර්ණ සුව වීමක් ලබා දීමටත් වඩා නොනැසී පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමිනි. සිදු වූ තුවාලයට ප්‍රතිචාර වශයෙන් කොලැජන් ශීඝ්‍රයෙන් අධික ලෙස නිෂ්පාදනය කිරීම කැළැල් ඇති කිරීමට හේතු වේ. කැළලක් පරිණත වන විට විවිධ වෙනස්කම්වලට භාජනය වන අතර, එයට කිසි විටෙකත් එහි අවට සමේ ඇති සාමාන්‍ය ශක්තිමත් බව නොලැබේ. කැළල ඇතිවන ප්‍රදේශයේ රෝම කූප සහ දහඩිය ග්‍රන්ථි නැවත වර්ධනය නොවේ. කැළැල් සෑදීම පහත පරිදි අදියර හතරකින් සිදු වේ:

රක්තපාතරෝධක අවධිය

මෙම අවධිය තුවාලයක් සිදු වූ සැණින් ආරම්භ වී පැය කිහිපයක් පවතින අතර, මෙහි දී සිදු වන්නේ තුවාලයේ ලේ ගැලීම පාලනය කිරීම සඳහා රුධිර නාල සංකෝචනය කිරීමෙන් තුවාල වූ ප්‍රදේශය සාමාන්‍ය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීම යි. තුවාල වූ සෛල එකවර රුධිරය කැටි ගැසීම සක්‍රීය කිරීම සඳහා ඇතැම් ප්‍රෝටීන මුදා හරින අතර, එමඟින් හානියට පත් රුධිර නාල මුද්‍රා තබා රුධිර වහනය අඩු කරයි.

ප්‍රදාහක අවධිය

ආරම්භක කම්පනයෙන් පසු දින තුනක හෝ හතරක කාලයක් පුරා පෙනෙන්නට ඇති රතු පැහැය සහ ඉදිමීම, ප්‍රතිශක්ති ප්‍රතිචාරය පෙන්වන දර්ශකයකි. සුදු රුධිරාණු මගින් තුවාලයේ ඇති සුන්බුන් හා බැක්ටීරියා පිරිසිදු කරන රසායන ද්‍රව්‍ය නිකුත් කරයි.

ප්‍රගුණන අවධිය

මෙය තුන් වන දිනයේ දී පමණ ආරම්භ වී සති තුනක පමණ කාලයක් පවතී. තුවාලය වසා දැමීමට සහ ඇලවීමට මෙම අදියරේ දී එකිනෙකට වෙනස් ක්‍රියාවලි තුනක් එකවර සිදු වේ: කණිකාභවනය: තුවාලය සහිත ප්‍රදේශය තුළ තන්තු සෛල (කොලැජන් සංස්ලේෂණය කිරීම සඳහා වගකිව යුතු සෛල) අධික ලෙස ප්‍රගුණනය වී, තුවාලය පිරවීම සඳහා ඉක්මනින් කොලැජන් නිපදවීම සිදු කරයි. අපිච්ඡදකරණය: තුවාලය ආවරණය කිරීම සඳහා සමෙහි ස්තරයක් නිර්මාණය වේ. තුවාලය හැකිලීම: සමේ කඩතොලු අවම කිරීමේ උත්සාහයක් වශයෙන් තුවාලය එකට එකතු වේ.

පරිණති අවධිය

මෙම 'ප්‍රතිසැකසීමේ' අදියර සති තුනකට පමණ පසුව ආරම්භ වී තුවාලයේ ප්‍රමාණය හා ගැඹුර අනුව වසර දෙකක් දක්වා කාලයක් පැවතිය හැකි ය. මෙම කාලය තුළ තුවාල ප්‍රදේශය මත ඇතිවන ආතතීන්ට අනුකූලව තන්තු ප්‍රතිසංවිධානය වීම හේතුවෙන් කොලැජන් දිගටම ගොඩනැඟෙන අතර, කැළැල්වල අවසන් ස්වභාවය තීරණය වන්නේ එමඟිනි. කැළල මගින් තුවාල ප්‍රදේශය ආවරණය වන අතර එය පහසුවෙන් බිඳී යාම සිදු විය හැක. සාමාන්‍යයෙන් කැළැල් පටකවල ඇත්තේ සාමාන්‍ය සමේ ආතන්‍ය ශක්තියෙන් 70% කි.

කැළැල් වර්ග

පුද්ගලයන්ගේ සුවවීම එකිනෙකාට වෙනස් ආකාරයකින් සිදු වන නිසා, කැළලක අවසාන පෙනුම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. කැළලක පෙනුම කුමනාකාර වේ දැයි නිර්ණය කිරීමේ දී සමේ වර්ගය, කැළලේ පිහිටීම, තුවාලයේ වර්ගය, පුද්ගලයාගේ වයස මෙන්ම පෝෂණ තත්ත්වය වැනි සාධක ද වැදගත් වේ. කැළැල් වර්ග පහත කාණ්ඩවලට බෙදා දැක්විය හැක:

සාමාන්‍ය කැළැල්

මෙම කැලැල් ආරම්භයේ දී දැවිල්ල සහිත හා අඳුරු පෙනුමකින් යුක්ත නමුත් කාලයත් සමග එය පැතලි වී පෙනුම අඩු වී ගොස් සිහින් රේඛාකාර කැළලක් බවට පත් වේ.

අවවර්ධී කැළැල්

මෙම කැළැල් සමේ මතුපිටට පහළින් අවපාත හෝ කඩතොලු ඇති කරයි. ඇක්නිවලින් හෝ පැපොල රෝගයෙන් ඇතිවන කැළැල් මීට උදාහරණ වේ.

අධිවර්ධී කැළැල්

මෙම කැළැල් සම මතුපිටින් ඉහළට මතු වී පෙනේ. මේවා කොලැජන් අධික ලෙස තැන්පත් වීමෙන් සෑදෙන නමුත් සෑම විටම මුල් තුවාලයේ මායිම් තුළට සීමා වේ.

කීලාභය කැළැල්

කීලාභයන් අධිවර්ධී කැළැල් සමග පටලවා නොගත යුතු ය. අධිවර්ධී කැළැල් ද සම මට්ටමෙන් ඉහළට මතු වූ ඒවා නමුත්, කීලාභය කැළැල් යනු මුල් තුවාලයේ සීමාවෙන් ඔබ්බට පැතිර ඇති කැළැල් වේ. කාලයත් සමඟ ඒවා දිගටම වර්ධනය විය හැකි අතර, ඒවා කපා දැමූ පසුව ද සාමාන්‍යයෙන් නැවත වර්ධනය වීම සිදු වේ.

සංකෝචිත කැළැල්

සම ස්ථිරවම තදභාවයට පත් වූ විට දී සංකෝචිත කැළලක් ඇතිවේ. බොහෝවිට ඒවා ඇති වන්නේ නිවැරදි කෝණවලින් කැළැල් හරහට සම්බන්ධ වූ විට හෝ සම රැලි ගැසීම්වලිනි. කැළැල් පටක ඇදීමට ප්‍රතිරෝධී වන අතර ඒවායේ චලනය සාමාන්‍ය නිෂේධනය විය හැක. බොහෝ විට සංකෝචිත කැළැල් ඇති වන්නේ පිළිස්සුම් තුවාල ලැබීමෙන් පසුව යි.

ඇදීම් සලකුණු (විලේඛ)

සිරුරේ බර වේගයෙන් වෙනස් වන කාලවල දී (උදා: නව යොවුන් වියේ වේගවත් වර්ධනය, ගර්භණීභාවය) ශරීරය වටා ඇති සමට වඩා වේගයෙන් ශරීරය ප්‍රසාරණය වීමේ දී සමේ පටකවල අභ්‍යන්තර ඉරීම් ඇති වන විට ඇදීම් සලකුණු හටගනී. මෙම ඉරීම් අලුත්වැඩියා වීම සිදුවන විට ඒවායින් ඇදීම් සලකුණු ලෙස හඳුන්වනු ලබන කැළැල් ඇති කරයි.

ඇදීම් සලකුණු හටගැනීම

වෛද්‍ය විද්‍යාවේ දී ඇදීම් සලකුණු හෙවත් විලේඛ යනු හුදෙක්ම කැළැල් ඇතිවීමේ තවත් ආකාරයක් වන අතර, කෙසේ නමුත් බොහෝ පුද්ගලයන් මේවා කැළැල්වලින් වෙන්කොට සලකයි. විලේඛ යනු සමේ වේගවත් ප්‍රසාරණයක් සිදුවන කාලවල දී සමෙහි හටගන්නා රේඛා වන අතර, උදාහරණ වශයෙන් ගර්භණී කාන්තාවන්, කායවර්ධකයන් සහ යෞවනයන්ගේ වේගවත් වර්ධන අවධිය දැක්විය හැක. නමෙන් හැඟවෙන ආකාරයටම, මේවා හටගන්නේ සම ඇදීමට ලක්වීමෙනි. ලා පැහැති සමක් ඇති අයගේ රෝස පැහැති ඇදීම් සලකුණු ද, අඳුරු පැහැති සමක් ඇති අයගේ යාබද සමට වඩා ලා පැහැති ඇදීම් සලකුණු ද ඇතිවීමේ නැඹුරුවක් පවතී. සම ස්වභාවිකවම ප්‍රත්‍යාස්ථ බවින් යුතු වේ. මෙම ප්‍රත්‍යාස්ථ බව ලබා දෙන්නේ සමට යටින් ඇති ඇතුල් සමේ පවතින කොලැජන් සහ ඉලාස්ටීන් මගිනි. කොලැජන් සෑදී ඇත්තේ ස්වාභාවිකව හටගන්නා ප්‍රෝටීන සමූහයකින් වන අතර එය ශරීරයේ සම්බන්ධක පටකවල ප්‍රධාන සංඝටකයකි. ස්වාභාවිකව හටගන්නා ප්‍රෝටීනවලින් සෑදී ඇති ඉලාස්ටීන් ද සම්බන්ධක පටකවල දක්නට ලැබෙන අතර, එමගින් සමට ප්‍රත්‍යාස්ථ ගුණය ලබා දේ. මෙම සම්බන්ධක පටක විස්තාරණය හා සංකෝචනය මගින් ශරීරයේ අඛණ්ඩ චලනයට අනුවර්තනය වීමට චර්ම පටකයට හැකියාව ලබා දෙන අතර, නමුත් වේගයෙන් බර වැඩිවන කාලවල දී ඊට අනුගත වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීමෙන් සමේ පටකවල අභ්‍යන්තර ඉරීම් ඇති වේ. මෙම ඉරීම් අලුත්වැඩියාව සිදුවන විට ඒවායින් අපි ඇදීම් සලකුණු ලෙස හඳුන්වන කැළැල් සාදයි. මෙය සර්පිලයක් ඇදීමට සමාන කර දැක්විය හැක. ඔබ සර්පිලයක් එහි ප්‍රත්‍යාස්ථ සීමාව ලෙස හඳුන්වන නිශ්චිත පරාසයක් තුළ ඇදීම සිදු කළහොත්, එය නැවතත් මුලින් තිබූ ප්‍රමාණයටම සංකෝචනය වේ. කෙසේ නමුත්, ඔබ සර්පිලය එහි ස්වාභාවික ප්‍රත්‍යාස්ථතා සීමාව ඉක්මවා ඇදීම සිදු කළහොත් එය ස්ථිරවම ඇදී ගොස් ආපසු එය මුලින් තිබූ ප්‍රමාණයට පත් නොවේ. ඇදීම් සලකුණු මගින් සැලකිය යුතු වෛද්‍යමය ගැටළුවක් උද්ගත නොකළ ද, ඒවා හටගත් පුද්ගලයන්ට චිත්තවේගීය පීඩාවක් ගෙන දිය හැක. සමේ වර්ගය, වයස, ප්‍රවේණිය, ආහාර සහ සමේ සජලනය අනුව ඇදීම් සලකුණු වර්ධනය වීමේ සම්භාවිතාව වෙනස් වේ. ඇදීම් සලකුණු හටගැනීමේ අදියර පහත පරිදි වේ:

පළමු අදියර

මුලින්ම ඇතිවන ඇදීම් සලකුණු සුදුමැලි වර්ණයෙන් යුක්ත වන අතර ඒවා කසනසුළු විය හැක. ඇදීම් සලකුණු වටා ඇති සම ද ඉක්මනින්ම 'පැතලි' සහ 'සිහින්' පෙනුමක් ගනී.

දෙවන අදියර

ඇදීම් සලකුණුවල දිග හා පළල ක්‍රමයෙන් වැඩි වී අඳුරු සහ වඩාත් පැහැදිලි පෙනුමක් ගනී.

තුන්වන අදියර

ඇදීම් සලකුණු පරිණත වී සම තවදුරටත් ආතතියට ලක් නොවන විට, ඒවා මැකී යාම ආරම්භ වන අතර සුදුමැලි පැහැයකට පත් වේ. ඒවා තරමක් අවපාතනය වී හැඩය හෝ දිග අක්‍රමවත් පෙනුමක් ගත හැකි ය.

ගර්භණී කාලයේ ඇදීම් සලකුණු හටගැනීම

ගර්භණී කාන්තාවන්ගෙන් 50% ත් 90% ත් අතර සංඛ්‍යාවක් ඇදීම් සලකුණුවලට ගොදුරු වන බවට තක්සේරු කර ඇත. ගර්භණී සමය තුළ ශරීරයේ වෙනස්කම් සිදු වන විට සම විශාල වශයෙන් ඇදීමට ලක්වන උදරය, කලවා, ඉණ, පිටේ පහළ කොටස, තට්ටම් සහ පියයුරු යනාදී ස්ථානවල ඇදීම් සලකුණු වර්ධනය විය හැක. ඇදීම් සලකුණු ශරීරයේ ඕනෑම තැනක හටගැනීම සිදුවිය හැකි අතර, විශාල මේද ප්‍රමාණයක් ගබඩා වී ඇති ස්ථානවල ඒවා හටගැනීමට වැඩි ඉඩක් පවතී. සාමාන්‍යයෙන් ඇදීම් සලකුණු මතුවීමට පටන් ගන්නේ ගර්භණී සමයේ පසු ත්‍රෛමාසික තුළ (හයවන හෝ හත්වන මාසය පමණ) වන අතර, සමහර කාන්තාවන්ගේ පළමු ත්‍රෛමාසිකය තුළදීම ඇදීම් සලකුණු මතුවීමට පටන් ගනී. හෝමෝන මට්ටම ඉහළ ගොස් දරු ප්‍රසූතිය සඳහා සූදානම් කිරීම ද ගර්භණී කාලයේ ඇදීම් සලකුණු ඇතිවීමට හේතු විය හැක. මෙම හෝමෝන මගින් සම තුළට වැඩි ජල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්නා අතර, එමගින් කොලැජන් තන්තු අතර ඇති බන්ධන ලිහිල් කරයි. මෙමගින් සම ඇදෙන විට එය පහසුවෙන් ඉරී ගොස් ඇදීම් සලකුණු හටගැනීම පහසු කරයි. සමේ වර්ගය, වයස, ප්‍රවේණිය, ගන්නා ආහාර හා සමේ සජලනය අනුව ඇදීම් සලකුණු වර්ධනය වීමේ සම්භාවිතාව වෙනස් වේ.

ආරක්‍ෂණ තක්සේරුව

Bio‑Oil® Skincare Oil සුදුසුකම් ලත් විෂ රසායනවේදියකු විසින් ආරක්‍ෂණ තක්සේරුවකට බඳුන් කර ඇති අතර, එය ගර්භණී හා කිරි දෙන මවුවරුන් සහ වයස අවුරුදු තුනට වැඩි ළමුන් ඇතුළු වැඩිහිටියන් සඳහා ආරක්‍ෂිතව භාවිත කිරීමට සුදුසු බවට වර්ග කර ඇත.

අහිතකර ප්‍රතික්‍රියා

Bio‑Oil® Skincare Oil සතුව ආරක්‍ෂිත විෂවිද්‍යා පැතිකඩක් ඇති අතර, එය සියලුම රූපලාවණ්‍ය නිෂ්පාදන මෙන් ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර රෙගුලාසි සපුරාලන අතරම, Bio‑Oil® Skincare Oil භාවිත කරන්නන්ට එය භාවිත කිරීමේ දී අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ දීමට සිදු වීමේ අවදානමක් පවතී. එවැනි අහිතකර ප්‍රතික්‍රියාවක් සිදු වුවහොත්, නිෂ්පාදයන භාවිත කිරීම වහාම නැවැත්විය යුතු ය. සමේ සිදුවන අහිතකර ප්‍රතික්‍රියාවක රෝග ලක්‍ෂණ ලෙස පලු දැමීම, ඉදිමීම සහ දැවිල්ල ඇතිවිය හැකි අතර සාමාන්‍යයෙන් මෙම ලක්‍ෂණ ඇති වන්නේ නිෂ්පාදනය ගල්වන ලද ප්‍රදේශය තුළ යි. මෙහි දී සමෙහි කැසීම සහ සුළු අපහසුතාවක් ඇති විය හැක. බොහෝ අවස්ථාවල දී, නිෂ්පාදනය භාවිත කිරීම නවත්වා දින දෙක තුනක් ඇතුළත අහිතකර ප්‍රතික්‍රියාව පහව යයි. සම නැවත යථා තත්ත්වයට පත්වන තෙක්, ප්‍රතික්‍රියාව පහව යන තුරු සම වියළි හා පොතු ආකාර ස්වභාවයක් ගත හැක. Bio‑Oil® Skincare Oil භාවිතය හේතුවෙන් සිදු වීමට ඉඩ ඇති ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම්, ඒ බව පරීක්‍ෂා කිරීම සඳහා සරල ආසාත්මිකතා පරීක්‍ෂණයක් සිදු කිරීම වැදගත් වේ. මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ කුඩා ප්‍රමාණයක් යටි බාහුවේ ඇතුල් පැත්තේ ගල්වා පැය 24 ක කාලයක් තුළ යම් ප්‍රතික්‍රියාවක් සිදු වේ දැයි බැලීමෙනි. සමේ රතුවීමක් (එරිතිමාව) හෝ සුළු ඉදිමුමක් (එඩීමා) ඇතිවීම ආසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවීමේ හැකියාව පෙන්වන ලකුණක් විය හැක.

ආසාත්මීකාරක

බොහෝ ආසාත්මීකාරක මෙන්, මේවා ශාක තෙල්වල සහ ධූපවල අන්තර්ගත වේ. ඒවා නම්: Alpha-Isomethyl Ionone, Amyl Cinnamal, Benzyl Salicylate, Citronellol, Coumarin, Eugenol, Farnesol, Geraniol, Hydroxycitronellal, Limonene, සහ Linalool.

අනපේක්‍ෂිත ලෙස ශරීරගත වීම

Bio‑Oil® Skincare Oil අනපේක්‍ෂිත ලෙස ශරීරගත වුවහොත්, එය විෂ රහිත නිෂ්පාදනයක් බැවින් ඔක්කාරය හා පාචනය වැනි තත්ත්වයන්ට අමතරව කිසිදු අහිතකර බලපෑමක් සිදුවීමේ හැකියාවක් නොමැත. කෙසේ නමුත්, විශේෂයෙන් එය අනපේක්‍ෂිත ලෙස අතදරුවකුගේ හෝ දරුවෙකුගේ ශරීරගත වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කරනු ලැබේ.

විවෘත කර තබාගත හැකි කාලය (PAO)

Bio‑Oil® Skincare Oil විවෘත කර මාස 36ක් තබාගත හැක. මෙම කාල සීමාව නිෂ්පාදනය විවෘත කිරීමෙන් පසු එය ආරක්‍ෂිතව සහ පාරිභෝගිකයාට කිසිදු හානියකින් තොරව භාවිත කළ හැකි කාලය යි.

නිෂ්පාදනය

Bio‑Oil® Skincare Oil නිෂ්පාදන ක්‍රියාවලිය රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වන ISO 22716: 2007 ප්‍රමිතියෙහි හොඳ නිෂ්පාදන පිළිවෙත් (GMP) හා සම්බන්ධ අවශ්‍යතාවලට අනුකූලව සිදු කරනු ලබයි. Bio‑Oil® Skincare Oil නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන සියලුම අමුද්‍රව්‍යවලට විශ්ලේෂණ සහතිකයක් (COA) ඇති අතර සියලුම ඇසුරුම් ද්‍රව්‍යවලට අනුකූලතා සහතිකයක් (COC) ඇත. තත්ත්ව පාලන පරීක්‍ෂණ සමත් වන තුරු කිසිදු අමුද්‍රව්‍යයක් හෝ ඇසුරුම් ද්‍රව්‍යයක් නිෂ්පාදන ක්‍රියාවලියට මුදා හරිනු නොලැබේ. මිශ්‍ර කරනු ලබන සෑම Bio‑Oil® Skincare Oil කාණ්ඩයක් සඳහාම අනන්‍ය වූ කාණ්ඩ අංකයක් ඇත. කාණ්ඩයෙන් ලබාගත් නියැදියක් ගෙන රසායනාගාරය තුළ එහි පෙනුම, පැහැදිලි බව, ගන්ධය, වර්ණාවලි දීප්තමාන හැඳුනුම්, ඝනත්වය, දුස්ස්‍රාවිතාව සහ ක්‍ෂුද්‍රජීවී පරීක්‍ෂා සිදු කරනු ලබයි. නියැදිය වසර හයක කාලයක් රඳවා තබා ගනු ලබයි. Bio‑Oil® Skincare Oil පිරවීම සහ ඇසුරුම් කිරීම සිදු කරනු ලබන්නේ පාලිත උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවක් ඇති පරිශ්‍රයක් තුළ යි. දූවිලි මගින් අපිරිසිදු වීම වැළැක්වීම සඳහා වාතය අධි කාර්යක්‍ෂම අංශුමය වායු (HEPA) පෙරහන් පද්ධතියක් හරහා ගමන් කරයි. නිෂ්පාදන දාමවල සේවය කරන සේවකයන් හිස්වැසුම්, මුහුණු ආවරණ, මූණත් පළිහ, අත්වැසුම්, කබා සහ පාවහන් ආවරණ පැළඳ සිටී. සාම්පල නියත කාල පරතරයකින් නිෂ්පාදන දාමයෙන් පිටතට ගෙන, තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව විසින් පූර්වෝපායක් ලෙස එහි ඇති අසාමාන්‍යතා දෝෂ පිලිබඳ පරීක්‍ෂා කර බලයි. නිෂ්පාදන බෝතලය, කඩදාසි පෙට්ටිය සහ ප්‍රවාහන පෙට්ටිය මත කාණ්ඩ අංකයක් මුද්‍රණය කරනු ලබන අතර, එක් එක් නිෂ්පාදිත කාණ්ඩයෙන් රැඳවුම් සාම්පලයක් ගෙන එය වසර හයක කාලයක් රඳවා තබා ගනු ලබයි.

ගබඩා කිරීමට උපදෙස්

Bio‑Oil® Skincare Oil සෘජු සූර්යාලෝකය නොවැටෙන සිසිල් ස්ථානයක ගබඩා කළ යුතු ය.

ප්‍රතිචක්‍රීකරණය

සියලුම Bio‑Oil® Skincare Oil ඇසුරුම් (බෝතලය, ඇබය, මූඩිය සහ කඩදාසි පෙට්ටිය) ප්‍රතිචක්‍රීකරණය කළ හැක.

සහතිකකරණයන්

Bio‑Oil® Skincare Oil හලාල් සහ කොෂර් සහතිකකරණයන් ලබා ඇත.

සතුන් භාවිතයෙන් පරීක්‍ෂා කර නැත

Bio‑Oil® Skincare Oil සහ එහි අන්තර්ගත අමුද්‍රව්‍ය නිපදවනු ලබන්නේ රූපලාවණ්‍ය අරමුණු සඳහා සත්ව පරීක්‍ෂණ යොදා ගැනීමට අදාළ යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව යි. Bio‑Oil® Skincare Oil හෝ එහි කිසිදු අමුද්‍රව්‍යයක් Bio‑Oil විසින් හෝ එහි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් විසින් සතුන් භාවිතයෙන් පරීක්‍ෂා නොකරයි.

සත්ත්ව අමුද්‍රව්‍ය රහිතයි

Bio‑Oil® Skincare Oil තුළ සත්ත්ව සම්භවයක් සහිත අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ.

පෙනුම වෙනස් වීම

Bio‑Oil® Skincare Oil තුළ දාස්පෙති, කැමොමයිල්, ලැවෙන්ඩර් සහ රෝස්මරි ශාක නිස්සාරක හා සගන්ධ තෙල් මෙන්ම විටමින් A අඩංගු වන අතර ඒවා සියල්ලම සූර්‍යාලෝකයට සංවේදී වේ. එබැවින් එය සූර්‍යාලෝකයට නිරාවරණය වීමෙන් කාලයත් සමග වර්ණය වෙනස් විය හැක. කෙසේ නමුත් නිෂ්පාදනයේ සඵලත්වයට එය බලපානු ඇතැයි සිතිය නොහැක. මේ සඳහා පූර්වෝපායක් ලෙස Bio‑Oil® Skincare Oil බෝතල්වල පාරජම්බුල කිරණ අවශෝෂකයක් අඩංගු වේ. කෙසේ නමුත් නිෂ්පාදනය සෘජු සූර්යාලෝකය නොවැටෙන ස්ථානයක ගබඩා කළ යුතු ය.

ඇසුරුම්කරණය

Bio‑Oil Skincare Oil නිෂ්පාදනයේ රූපය