වෙළඳ නාමය

Bio‑Oil®

නිෂ්පාදන නාමය සහ ප්‍රමාණ

Body Lotion 175ml

Body Lotion 250ml

විස්තරය

දිනපතා මොයිස්චරයිස් කිරීම සඳහා 42%ක් තෙල් අඩංගු බොඩි ලෝෂණයකි.

සුදුසු භාවිතය

සම තෙත් කිරීම සැලකිය යුතු ලෙස ඉහළ නංවයි.

ස්වභාවය

සුදු පැහැති දියරයකි.

අමුද්‍රව්‍ය

Aqua, Dimethicone, Isopropyl Palmitate, Ethylhexyl Cocoate, Isododecane, Isopropyl Myristate, Urea, Polyglyceryl-2 Dipolyhydroxystearate, Glycerin, Pentylene Glycol, Dicaprylyl Carbonate, Polyglyceryl-3 Diisostearate, Sodium Lactate, Dipentaerythrityl Hexacaprylate / Hexacaprate, Gluconolactone, Rosa Canina Fruit Oil, Simmondsia Chinensis Seed Oil, Calendula Officinalis Extract, Butyrospermum Parkii Oil, Helianthus Annuus Seed Oil, Glycine Soja Oil, Isostearyl Isostearate, Bisabolol, Octyldodecyl PCA, Retinyl Palmitate, Tocopheryl Acetate, Linoleic Acid, Linolenic Acid, Tocopherol, Sodium PCA, Sodium Hyaluronate, Lactic Acid, Stearalkonium Hectorite, Propylene Carbonate.

වියළි සම සඳහා සායනික පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Body Lotion වල සම තෙත් කිරීම වැඩි දියුණු කිරීමේ සඵලත්වය පරීක්‍ෂා කිරීම සඳහා වූ සායනික ඇගයීමකි.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සායනිකව ෆිට්ස්පැට්‍රික් සම් වර්ග II-V සහ පාදවල පිටත පහළ කෙටසෙහි වියළි / ඉතා වියළි සමක් ඇති නීරෝගී කාන්තා සහභාගීන් 30 දෙනෙක්. අත්හදා බැලූ ශරීරාංගය:අත්හදා බලනු ලබන නිෂ්පාදනය සියලු පුද්ගලයන්ගේ පාදවල පිටත, පහළ කොටසෙහි ගල්වන ලදි. සහභාගීන්ගේ වයස: අවුරුදු 25–65.

ක්‍රමවේදය

ශරීර විභේද්‍ය, ඇගයුම්කරු අඥාත, සසම්භාවීකෘත හා පාලිත සායනික උපකරණීය අධ්‍යයනය. වියළි සම උත්තේජනය කිරීම සඳහා සහභාගීන් දින 7 ක කාලයක් පුරාවට සබන් යොදා තම දෙපා සෝදා පිරිසිදු කරන ලදි. මූලික සායනික සහ උපකරණීය ඇගයීම් සිදු කරන ලදි. Bio‑Oil® Body Lotion දින 28 ක් පුරා දිනකට දෙවරක් බැගින් අදාළ පාදයේ පහල කොටසේ පැත්තෙහි ගල්වන ලද අතර, අනෙක් පාදයට කිසිදු ප්‍රතිකාරයක් සිදු නොකරන ලදි. සායනික ඇගයීම් සහ උපකරණීය ඇගයීම් 1, 3, 6, 8, 10, 14, 21 සහ 28 දිනවල සිදු කරන ලදි. ප්‍රතිකාරයක් සිදු නොකළ පාලක ප්‍රදේශය ද සෑම අවස්ථාවකදීම ඇගයීමට ලක් කරන ලදි. පුහුණු දෘශ්‍ය ඇගයුම්කරුවකු විසින් පුද්ගලයන්ගේ පාදවල වියළි බව සායනිකව ශ්‍රේණිගත කරන ලදි (0–5 දක්වා පරිමාණයෙන්). කෝනියෝමීටරය ආධාරයෙන් සමෙහි සජලනය පිළිබඳ ප්‍රමාණාත්මක මිනුමක් ලබාගන්නා ලදි. සමෙහි බාධක කෘත්‍යය පිළිබඳ දර්ශකයක් වශයෙන්, අපිචර්මය හරහා ජල හානිය (TEWL) පිළිබඳ ප්‍රමාණාත්මක මිනුම් ටේවමීටරය ආධාරයෙන් ලබාගන්නා ලදි. මීට අමතරව, 8 සහ 14 දිනවල ස්වයං-තක්සේරු ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කරන ලදි.

ප්‍රතිඵලය

ප්‍රතිකාර නොකළ ප්‍රදේශයට සාපේක්‍ෂව, Bio‑Oil® Body Lotion ගැල්වූ ප්‍රදේශයෙහි වියළි බව සම්බන්ධ සායනික ශ්‍රේණිගත කිරීමෙහි සහ ටේවමීටර හා කෝනියෝමීටර මිනුම් ප්‍රතිඵලවල 1 වන දින පටන් සියලුම මිනුම් ලක්ෂ්‍යවල සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කරන ලදි. සමෙහි වියළි බව පිළිබඳ සායනික ශ්‍රේණිගත කිරිමේ දී, 14 වන දින සිට සහභාගීන්ගෙන් 96.7% ක සංඛ්‍යාන වශයෙන් වෙසෙසි වැඩි දියුණුවක් පෙන්නුම් කළ අතර, එය 1 වන දින පෙන්වූ වැඩි දියුණුව මෙන් දෙගුණයක පමණ වැඩි වීමකි. භාවිතයෙන් දින 28 කට පසු, සහභාගීන්ගෙන් 100% කම සම තෙත් කිරීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය 1 වන දින පෙන්වූ වැඩි දියුණුව මෙන් 4 ගුණයක පමණ වැඩි වීමකි. ඒ හා සමානව, භාවිතයෙන් දින 28 කට පසු, සහභාගීන්ගෙන් 100% ක්ම TEWL හි සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කළ අතර, එය 1 වන දින පෙන්වූ වැඩි දියුණුව මෙන් 4 ගුණයක පමණ වැඩි වීමකි. මෙම ප්‍රතිඵල ස්වයං-තක්සේරු ප්‍රශ්නාවලිය මගින් වැඩිදුරටත් සනාථ කරයි.

වියළි සම සඳහා පරිශීලක අත්හදා බැලීම

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Ayton Global Research, එක්සත් රාජධානිය.

අරමුණ

ශරීර මොයිස්චරයිසරයක් ලෙස Bio‑Oil® Body Lotion ක්‍රියාකාරීත්වය ඇගයීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: නීරෝගී කාන්තා සහභාගීන් 117 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65.

ක්‍රමවේදය

සති 2 ක, ඒක-ස්ථානීය, ගෘහස්ථ පරිශීලක අත්හදා බැලීමක්. සහභාගීන්ට දිනපතා, උදේ සහ සවස දෙවරක් නිෂ්පාදනය ගැල්වීමට උපදෙස් දෙන ලදි. නිෂ්පාදනය සම්පුර්ණයෙන් සමට අවශෝෂණය වන තුරු සම්බාහනය කරන ලදි. කෙටි ප්‍රශ්නාවලි තුනක් සම්පූර්ණ කරන ලදි: පළමුවැන්න ආරම්භක ගැල්වීමෙන් පසුව, දෙවැන්න පැය 12 කට පසුව සහ තෙවැන්න නිෂ්පාදනය භාවිත කිරීමෙන් සති 2 කට පසුව.

ප්‍රතිඵලය

ගැල්වීම: සහභාගීන්ගෙන් 95% ක් 'මෙම නිෂ්පාදනය ඔවුන් මීට පෙර භාවිත කළ කිසිදු මොයිස්චරයිසරයකට වඩා සැහැල්ලු' බව පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 93% ක් 'මෙම නිෂ්පාදනය ඔවුන් මීට පෙර භාවිත කළ කිසිදු මොයිස්චරයිසරයකට වඩා පහසුවෙන් සම මත පැතිරෙන බව' පිළිගන්නා ලදි. අවශෝෂණය: සහභාගීන්ගෙන් 82% ක් 'මෙම නිෂ්පාදනය ඔවුන් මීට පෙර භාවිත කළ කිසිදු මොයිස්චරයිසරයකට වඩා පහසුවෙන් සමට අවශෝෂණය කර ගන්නා බව' පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 75% ක් මෙම 'නිෂ්පාදනය ඔවුන් මීට පෙර භාවිත කළ ඕනෑම මොයිස්චරයිසරයකට වඩා ඉක්මනින් සමට අවශෝෂණය කර ගන්නා බව' පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 74% ක් මෙම 'නිෂ්පාදනය ගැල්වීමෙන් පසු සම මත කිසිදු තෙල් සහිත අවශේෂයක් ඉතිරි නොවන බව' පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 86% ක් 'මෙම නිෂ්පාදනය ගැල්වූ වහාම ඔවුන්ට ඇඳුම් ඇඳීමට හැකියාව ලැබුණු බව' පිළිගන්නා ලදි. සජලනය: සහභාගීන්ගෙන් 93% ක් 'මෙම නිෂ්පාදනය ගැල්වූ සැණින් තෙත් බවක් දැනෙන බව' පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 92% ක් 'නිෂ්පාදනය ගැල්වීමෙන් පසු ඔවුන්ගේ සමෙහි සිනිඳු හා සේදමය බවක් දැනෙන බව' පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 90% ක් 'ඔවුන්ගේ සමෙහි දවස පුරාම තෙත් බවක් දැනුණු බවත්', 91% ක් 'ඔවුන්ගේ සමෙහි දවස පුරාම සිනිඳු හා සේදමය බවක් දැනෙන බවත්' පිළිගන්නා ලදි. සහභාගීන්ගෙන් 92% ක් 'ඔවුන්ගේ සම සති 2 ක කාල පරිච්ඡේදය ආරම්භයේ දී තිබුණාට වඩා හොඳ පෙනුමකින් යුතු බව' පිළිගන්නා ලදි. සමස්තයක් වශයෙන්: සහභාගීන්ගෙන් 73% ක් 'මෙම නිෂ්පාදනය ඔවුන් මීට පෙර භාවිත කළ කිසිදු මොයිස්චරයිසරයකට වඩා හොඳ' බව පිළිගන්නා ලදි.

සංවේදී සම සඳහා පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Body Lotion මගින් සමෙහි දැවිල්ලක් ඇති කිරීමට පවතින හැකියාව තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 25 දෙනෙක්; එනම් ලැක්ටික් අම්ල දෂ්ටන පරීක්‍ෂාවට අනුව සංවේදී සමක් ඇති කාන්තාවන් 22 දෙනෙක් සහ පිරිමි 3 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–70.

ක්‍රමවේදය

පාලිත අධ්‍යයනය. සෘණ පාලකයක් (ඛනිජහරණය කළ ජලය) ගැල්වූ ප්‍රදේශය සහ Bio‑Oil® Body Lotion ගැල්වූ ප්‍රදේශය ලෙස ප්‍රදේශ දෙකක් ඇගයීමට ලක් කරන ලදි. Finn Chamber® භාවිත කරමින්, අත්හදා බලනු ලබන නිෂ්පාදනය පැය 48 ක කාලයක් පුරා සම මතුපිට සමග ස්පර්ශව තිබෙන පරිදි සහභාගීන්ගේ පිට ප්‍රදේශයෙහි ගල්වා තබන ලදි. පැච් ඉවත් කිරීමෙන් පසු මිනිත්තු 15 දී, පැය 1 දී සහ පැය 24 දී ප්‍රාථමික සමෙහි දැවිල්ල තක්සේරු කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර ඇගයීමට ලක් කරන ලදි. සමෙහි ප්‍රතිචාර 0–4 දක්වා පරිමාණයෙන් (එරිතිමාව, ඉදිමුම හෝ වෙනත් ආකාරයේ සමෙහි දැවිල්ලක් නොමැති නම් 0, සහ නිෂ්පාදනය ගැල්වූ ප්‍රදේශයට ඔබ්බෙහි තද රතු පැහැති පෙනුම සහ පැතිරුණු ඉදිමුමක් පෙන්නුම් කරන බරපතල එරිතිමා සහ ඉදිමුම් තත්ත්වයක් නම් 4) ශ්‍රේණිගත කරන ලදි.

ප්‍රතිඵලය

සමෙහි Bio‑Oil® Body Lotion වලට ඔරොත්තු දීමේ හැකියාව 'දැවිල්ල ඇති නොකරන' බවට නිර්ණය කරන ලදි.

ලප කැළැල් නොසෑදීම පිළිබඳ පරීක්‍ෂණය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Complife Italia S.r.l, ඉතාලිය.

අරමුණ

Bio‑Oil® Body Lotion වල ලප කැළැල් සෑදීමේ විභවය තක්සේරු කිරීම.

නියැදිය

යොදාගත් පුද්ගලයන්: සහභාගීන් 20 දෙනෙක්; එනම් ඇක්නිජනක සමක් ඇති විවිධ ෆිට්ස්පැට්‍රික් සම් වර්ග සහිත කාන්තාවන් 14 දෙනෙක් සහ පිරිමි 6 දෙනෙක්. සහභාගීන්ගේ වයස: අවුරුදු 18–65.

ක්‍රමවේදය

පාලිත අධ්‍යයනය. පෙරහන් කඩදාසි තැටියක් මත ගල්වන ලද නිෂ්පාදනය, සහභාගීන්ගේ පිටේ ඉහළ ප්‍රදේශයෙහි යොදන ලදි. පැච් අදාළ ස්ථානයේ පැය 48 සිට 72 දක්වා කාලයක් තිබෙන්නට හැර, ඉවත් කර නැවත යොදන ලදි. අඛණ්ඩව සති 4ක් පුරා පැච් 12ක් යොදන ලදි. සෘණ පාලකයක් (ඛනිජහරණය කළ ජලය), අත්හදා බලනු ලබන නිෂ්පාදනය (Bio‑Oil® Body Lotion) සහ ධන පාලකයක් (ප්‍රසිද්ධ ලප කැළැල් සාදන ද්‍රව්‍යයක් වන ලැනොලින් මද්‍යසාර) සංසන්දනය කරමින් ප්‍රදේශ තුනක් ඇගයීමට ලක් කරන ලදි. එක් එක් නිෂ්පාදනය ගැල්වීමට පෙර සහ පසු ලප කැළැල් සෑදීම සංසන්දනය කිරීම සඳහා, එක් එක් පැච් එක ඉවත් කිරීමෙන් මිනිත්තු 15 කට පසු චර්ම රෝග විශේෂඥයකුගේ අධීක්‍ෂණය යටතේ සමෙහි ප්‍රතිචාර සායනිකව ඇගයීමට ලක් කරන ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Body Lotion මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි. Bio‑Oil® Body Lotion යෙදූ ප්‍රදේශය සෘණ පාලක ප්‍රදේශයට වඩා සැලකිය යුතු වෙනසක් නො පෙන්වීය. ධන පාලකයෙන් ඇක්නි හටගැනීම උත්තේජනය විය.

දුස්ස්‍රාවිතාව පිළිබඳ අධ්‍යයනය

අත්හදා බැලීමේ මධ්‍යස්ථානය

Union Swiss, දකුණු අප්‍රිකාව.

අරමුණ

වෙළඳපලේ ඇති සමාන මොයිස්චරයිසර් නිෂ්පාදනවලට සාපේක්‍ෂව Bio‑Oil® Body Lotion වල ගතික දුස්ස්‍රාවිතාව තක්සේරු කිරීම සඳහා වූ අධ්‍යයනයකි.

නියැදිය

සම තෙත් කිරීම පිළිබඳ පිළිගත් ඉතිහාසයක් සහිත ගෝලීය වෙළඳ නාම 10ක් මගින් නිෂ්පාදනය කරන ලද මොයිස්චරයිසර් නිෂ්පාදන 13ක් සමග Bio‑Oil® Body Lotion සංසන්දනය කිරීම.

ක්‍රමවේදය

Anton Paar RheoLab QC රියෝමීටරයක් භාවිතයෙන් spindle CC 39, වේගය: 20˚C උෂ්ණත්වයේ දී 200 rpm, ව්‍යාකෘති ශීඝ්‍රතාව: 155 යොදාගෙන ගතික දුස්ස්‍රාවිතාව මනින ලදි.

ප්‍රතිඵලය

Bio‑Oil® Body Lotion වල ගතික දුස්ස්‍රාවිතාව තරඟකාරී සමාගම්වල නිෂ්පාදනවල සාමාන්‍යයට වඩා 7.5 ගුණයකින් අඩු බව සොයා ගන්නා ලද්දේ (පිළිවෙළින් 94 mPa.s එදිරිව 707 mPa.s), එය වඩාත් පහසුවෙන් හා වේගයෙන් අවශෝෂණය වන වඩාත් තුනී, සැහැල්ලු තරලයක් බව පෙන්නුම් කරමිනි.

ගැල්වීම

ගල්වන ආකාරය

Bio‑Oil® Body Lotion සම මත ගල්වා සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් රවුමට පිරිමදිමින් සම්බාහනය කළ යුතු ය. Bio‑Oil® Body Lotion දිනපතා දෙවරක්, උදේ සහ සවස ගැල්වීමට නිර්දේශ කරනු ලැබේ. Bio‑Oil® Body Lotion විවෘත තුවාලයකට හෝ කැඩුණු සම මත ගැල්වීම නොකළ යුතු ය. එය කාලීන රූපලාවණ්‍ය කටයුතු සඳහා ගැල්වීමට පමණක් නියම කෙරේ. ඇස්වල තැවරීමෙන් වළකින්න. යම් හෙයකින් ඇස්වල තැවරුණහොත් පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා හරින්න. ළමුන්ට ළඟා විය නොහැකි ස්ථානයක තබන්න.

භාවිතයට පෙර සෙලවීම

Bio‑Oil® Body Lotion යනු ජලය සහ තෙල් ඉතා ලිහිල්ව එකට බැඳී ඇති තෛලෝදයකි. කෙතරම් ලිහිල් ද කිවහොත්, බෝතලය කෙළින් සිටුවා තැබූ විට එහි ඇති තෙල් යම් ප්‍රමාණයක් මතුපිටට පැමිණ තුනී ස්තරයක් සදයි. භාවිතයට පෙර නිෂ්පාදනය මෘදු ලෙස සෙලවීමෙන් තෙල් ස්තරය නැවතත් ලෝෂණය තුළට විසිරී යයි. මෙම තෙල් ස්තරය සෑදීම දින තුනේ සිට සති තුනක් දක්වා ඕනෑම අවස්ථාවක සිදු විය හැකි අතර, එය එහි උෂ්ණත්වය, බෝතලය කෙතරම් තදින් හා කොපමණ වාර ගණනක් සොලවා ඇත්ද වැනි සාධක මත රඳා පවතී. නිෂ්පාදනය දිනපතා භාවිත කිරීම, සමෙහි ගැල්විමේ දී බෝතලය උඩු යටිකුරු කර සෙලවීම ආදී පිළිවෙත් මෙම තෙල් ස්තරය සෑදීම සිදු නොවන බව සහතික කර ගැනීමට ප්‍රමාණවත් වේ. තෙල් ස්තරයක් සෑදී ඇතිවිට නිෂ්පාදනය සෙලවීමෙන් තොරව භාවිත කළහොත්, බෝතලයෙන් පැහැදිලි තෙල් මිශ්‍රණයක් පිටතට පැමිණිය හැක. මෙය පාරිභෝගික ආරක්‍ෂණය පිළිබඳ අවදානමක් නොවේ.

භාවිත කළ යුතු කාලය

Bio‑Oil® Body Lotion වල සායනික පරීක්‍ෂණය සති හතරක කාලයක් පුරා සිදු කර ඇත්තේ, කාලයත් සමග නිෂ්පාදනයේ ක්‍රියාකාරීත්වය තක්සේරු කිරීමට ඉඩ සලසමිනි. සංඛ්‍යානමය විශ්ලේෂණය මගින්, පැය 24ක් වැනි කෙටි කාලයකට පසු සමේ පෙනුමෙහි සැලකිය යුතු වැඩි දියුණුවක් පෙන්නුම් කරන බවත්, මෙම වැඩි දියුණුව අත්හදා බැලීම් කාලය පුරා දිගටම පවතින බවත් පෙන්නුම් කරයි. කෙසේ නමුත් Bio‑Oil® Body Lotion එහි ඇති සම මොයිස්චරයිස් කිරීමේ සහ සම පෝෂණය කිරීමේ ගුණාංග හේතුවෙන් දෛනික සම ආරක්‍ෂණ පිළිවෙතක කොටසක් ලෙස අඛණ්ඩව භාවිත කළ හැක.

සම ආරක්‍ෂණ පිළිවෙතක් සමග ඒකාබද්ධව භාවිත කිරීම

උපරිම අවශෝෂණය සඳහා, පිරිසිදු කළ සම මත Bio‑Oil® Body Lotion ගැල්වීම කළ යුතු ය. සූර්‍යාලෝකයෙන් සම සුරකින ලෝෂණයක් හෝ වෙනත් ක්‍රීම් වර්ගයක් ගල්වන්නේ නම්, Bio‑Oil® Body Lotion සම්පූර්ණයෙන් සමට අවශෝෂණය වූ පසු පමණක් ඒවා ගල්වන්න. ඇඟ සේදීමෙන් හෝ ස්නානය කිරීමෙන් පසු Bio‑Oil® Body Lotion ශරීරය පුරා ගැල්වීම සිදු කරන්න.

ගර්භණී සමය තුළ භාවිත කිරීම

Bio‑Oil® Body Lotion ගර්භණී සමයේ දී භාවිත කිරීම සඳහා ආරක්‍ෂිත නිෂ්පාදනයකි.

විටමින් A සහ ගර්භණීභාවය

ගර්භණී සමයේ දී කාන්තාවන්ට විටමින් A පෝෂණ අතිරේක සීමා කිරීමට නිර්දේශ කරනු ලබන බැවින් විටමින් A සහිත සම ආරක්‍ෂණ නිෂ්පාදන භාවිත කිරීමෙන් ගැටළු උද්ගත විය හැක. සමෙහි ගල්වන ඕනෑම ද්‍රව්‍යයක් හානිකර වන්නේ එම ද්‍රව්‍යය එහි විෂවිද්‍යා සීමාවට වඩා ඉහළ මට්ටමක පවතී නම් පමණි. සම හරහා ද්‍රව්‍ය විනිවිද යාමට සම සැලකිය යුතු බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කාලීනව ගල්වනු ලබන විටමින් A වලින් ශරීරය තුළට ඇතුල් වන්නේ සුළු ප්‍රමාණයක් පමණි. යුරෝපා කොමිසමේ පාරිභෝගික ආරක්‍ෂණය පිළිබඳ විද්‍යාත්මක කමිටුව (SCCS) රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විටමින් A සහ එහි එස්ටර ඇගයීමට ලක් කර ඇත. මෙහි දී SCCS හි මතය වන්නේ බොඩි ලෝෂණ තුළ විටමින් A භාවිතය, රෙටිනෝල් සමක 0.05% ක උපරිම සාන්ද්‍රණයක් දක්වා ආරක්‍ෂිත බව යි. Bio‑Oil® Body Lotion වට්ටෝරුව තුළ පවතින විටමින් A ප්‍රමාණය බොඩි ලෝෂණ සඳහා වන උපරිම අනුමත සන්ද්‍රණයට වඩා අඩු මට්ටමක පවතින අතර, එය ගර්භණී කාලය පුරාවටම ආරක්‍ෂිතව භාවිත කළ හැකි ය.

මව්කිරි දෙන කාලය තුළ භාවිත කිරීම

Bio‑Oil® Body Lotion මව්කිරි දෙන කාලය තුළ සමෙහි ගැල්වීම සඳහා ආරක්‍ෂිත නමුත් එය තනපුඩු මත ගැල්වීමෙන් වැළකී සිටීමට නිර්දේශ කෙරේ. හානිකර බලපෑමක් ඇතිවීමේ හැකියාවක් නොමැති වුව ද, කුඩා ළදරුවන් ඉතා සංවේදී බැවින්, ඔවුන්ට Bio‑Oil® Body Lotion ඉතා කුඩා ප්‍රමාණවලින් වුව ද ශරීරගත නොවිය යුතු ය.

ළදරුවන් සහ ළමුන් සඳහා භාවිත කිරීම

වයස අවුරුදු තුනට අඩු ළමුන් සඳහා Bio‑Oil® Body Lotion භාවිත කිරීමේ ආරක්‍ෂිත බව පිළිබඳ තක්සේරු කර නොමැත. උපතින් පසු පළමු වසර කිහිපය තුළ, මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය ඇතුළු බොහෝ වෙනස්කම් සිදු වේ. එබැවින් මෙම නිෂ්පාදනය වයස අවුරුදු තුනක් හෝ ඊට වැඩි ළමුන් සඳහා පමණක් භාවිත කිරීමට නිර්දේශ කරනු ලැබේ.

අව් රශ්මියේ භාවිත කිරීම

Bio‑Oil® Body Lotion සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණවලින් පෙනී යන්නේ එයින් අව්වට සම පිළිස්සීම වැඩි වීමක් හෝ උග්‍ර වීමක් සිදු නොවන බව යි. එබැවින් එය අව් රශ්මියේ භාවිත කිරීම ආරක්‍ෂිත වේ. කෙසේ නමුත් මෙම නිෂ්පාදනයෙන් සූර්යයාගේ UVA සහ UVB කිරණවල හානිකර බලපෑම්වලට එරෙහිව කිසිදු ආරක්‍ෂාවක් නොලැබෙන බැවින් එය සූර්ය ආරක්‍ෂණ සාධකය (SPF) අවම වශයෙන් 30ක අගයක් සහිත පුළුල් පරාස සන්ස්ක්‍රීන් ආලේපනයක් සමග ඒකාබද්ධව භාවිත කිරීම වැදගත් වේ.

ශ්ලේෂ්මල පටල මත හෝ ඒ ආසන්නයේ භාවිත කිරීම

Bio‑Oil® Body Lotion සියලු භාවිතයන් සඳහා ආරක්‍ෂිත බවට වර්ග කර ඇති අතර, කෙසේ නමුත් නිෂ්පාදනය ශ්ලේෂ්මල පටල සමග ස්පර්ශ වීම පිළිබඳ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නොමැත්තේ එය නිෂ්පාදනයෙන් අපේක්‍ෂා කළ හැකි සුදුසු භාවිතයක් නොවන බැවිනි.

විකිරණ චිකිත්සාව හෝ රසායනික චිකිත්සාව සමග ඒකාබද්ධව භාවිත කිරීම

Bio‑Oil® Body Lotion යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. විකිරණ චිකිත්සා හෝ රසායනික චිකිත්සා ප්‍රතිකාරවලට ලක්වන පුද්ගලයන් නිෂ්පාදනය භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ඖෂධ නිෂ්පාදන සමග ඒකාබද්ධව භාවිත කිරීම

Bio‑Oil® Body Lotion යනු රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. ඖෂධ නිෂ්පාදන භාවිත කරන අතරතුර ඒ සමග ඒකාබද්ධව මෙම නිෂ්පාදනය භාවිත කිරීම සඳහා වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

සංවේදී සම මත භාවිත කිරීම

Bio‑Oil® Body Lotion සංවේදී සම මත භාවිත කළ හැක. සංවේදී සමක් ඇති වයස අවුරුදු 18–70 අතර පුද්ගලයන් 25 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද සමෙහි දැවිල්ල පිළිබඳ අධ්‍යයනයක දී, කිසිදු පුද්ගලයකු එහි වට්ටෝරුව සම්බන්ධ කිසිදු අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ දී නැත.

තෙල් සහිත සම මත භාවිත කිරීම

Bio‑Oil® Body Lotion තෙල් සහිත සම මත භාවිත කළ හැක. වයස අවුරුදු 18–65 අතර වයසේ පසුවන ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සමක් සහිත සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Body Lotion මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි.

ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සම මත භාවිත කිරීම

Bio‑Oil® Body Lotion ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සම මත භාවිත කළ හැක. වයස අවුරුදු 18–65 අතර ඇක්නි සෑදීමේ ප්‍රවණතාවක් ඇති සමක් සහිත සහභාගීන් 20 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අත්හදා බැලීමක දී, Bio‑Oil® Body Lotion මගින් ලප කැළැල් නොසාදන බව සොයා ගන්නා ලදි. සමෙහි ඇක්නිවලින් පීඩා විඳින්නන් Bio‑Oil® Body Lotion භාවිත කිරීමට පෙර වෛද්‍ය වෘත්තිකයකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

වියළි සමක ලක්‍ෂණ සහ වියළි සමක් ඇතිවීමට හේතු

ලක්‍ෂණ

වියළි සමේ ලක්‍ෂණවලට අඳුරු පැහැ ගැන්වුණු හා පොතු වැනි සම, සිහින් රේඛා, අළු පැහැති හෝ අළු වැනි පැහැයක් සහිත සම හා රළු සහ තද ස්වභාවය ඇතුළත් වේ.

හේතු

වියළි සමක් ඇති වීමට බාහිර මෙන්ම අභ්‍යන්තර සාධක හේතු වේ. බාහිර සාධක: වියළි දේශගුණයේ දී සම ඇතුළත ඇති තෙතමනය ලිපිඩ ද්විත්ව ස්තරය හරහා පිටත ඇති වියළි වාතය තුළට ගමන් කිරීම සිදු වේ. වායු සමීකරණ සහ හීටර් මගින් වාතයේ ඇති තෙතමනය උරාගන්නා අතර, එයින් ඇතිවන කෘත්‍රිම වියළි දේශගුණ තත්ත්වය මගින් සමේ ඇති තෙතමනය පිටතට ගමන් කරයි. නිතිපතා සම සේදීම සහ කටුක සේදුම්කාරකවලට නිරාවරණය වීම හේතුවෙන් සමේ ඇති ලිපිඩ ද්විත්ව ස්තරය ගැලවී ගොස් එමඟින් සමෙහි ඇති තෙතමනය පහසුවෙන් ඉවත්ව යයි. අභ්‍යන්තර සාධක: ශරීරය වයස්ගත වන විට, සමෙහි නිපදවන ලිපිඩ ප්‍රමාණය අඩු වී ගොස් එමඟින් ලිපිඩ ද්විත්ව ස්තරය තුනී වී සමෙහි ඇති තෙතමනය පහසුවෙන් ඉවත්ව යයි. ලිපිඩ ද්විත්ව ස්තරයේ ඇති සෙරිමයිඩ ප්‍රමාණය ස්වාභාවිකවම අඩු මට්ටමක පැවතීම නිසා වියළි සමක් ඇති වීමට ප්‍රවේණිය හේතු විය හැක. මෙය චර්ම බාධකයෙහි නිරෝධකතාව අඩු වී, සමෙහි තෙතමන හානිය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වීමට හේතු වේ. සමේ pH අගය සමෙහි බාධක කෘත්‍යයට බලපායි. සමේ pH මට්ටම ඉහළ ගිය විට එය ලිපිඩ ද්විත්ව ස්තරයේ නීරෝගී ක්‍රියාකාරීත්වය අඩාල කරයි.

ආරක්‍ෂණ තක්සේරුව

Bio‑Oil® Body Lotion සුදුසුකම් ලත් විෂ රසායනවේදියකු විසින් ආරක්‍ෂණ තක්සේරුවකට බඳුන් කර ඇති අතර, එය ගර්භණී හා කිරි දෙන මවුවරුන් සහ වයස අවුරුදු තුනට වැඩි ළමුන් ඇතුළු වැඩිහිටියන් සඳහා ආරක්‍ෂිතව භාවිත කිරීමට සුදුසු බවට වර්ග කර ඇත.

අහිතකර ප්‍රතික්‍රියා

Bio‑Oil® Body Lotion සතුව ආරක්‍ෂිත විෂවිද්‍යා පැතිකඩක් ඇති අතර, සියලුම රූපලාවණ්‍ය නිෂ්පාදන මෙන් ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර රෙගුලාසි සපුරාලන අතර, එසේම Bio‑Oil® Body Lotion භාවිත කරන්නන්ට එය භාවිත කිරීමේ දී අහිතකර ප්‍රතික්‍රියාවකට මුහුණ දීමට සිදු වීමේ අවදානමක් පවතී. එවැනි අහිතකර ප්‍රතික්‍රියාවක් සිදු වුවහොත්, නිෂ්පාදයන භාවිත කිරීම වහාම නැවැත්විය යුතු ය. සමේ සිදුවන අහිතකර ප්‍රතික්‍රියාවක රෝග ලක්‍ෂණ ලෙස පලු දැමීම, ඉදිමීම සහ දැවිල්ල ඇතිවිය හැකි අතර සාමාන්‍යයෙන් මෙම ලක්‍ෂණ ඇති වන්නේ නිෂ්පාදනය ගල්වන ලද ප්‍රදේශය තුළ යි. මෙහි දී සමෙහි කැසීම සහ සුළු අපහසුතාවක් ඇති විය හැක. බොහෝ අවස්ථාවල දී, නිෂ්පාදනය භාවිත කිරීම නවත්වා දින දෙක තුනක් ඇතුළත අහිතකර ප්‍රතික්‍රියාව පහව යයි. සම නැවත යථා තත්ත්වයට පත්වන තෙක්, ප්‍රතික්‍රියාව පහව යන තුරු සම වියළි හා පොතු ආකාර ස්වභාවයක් ගත හැක. Bio‑Oil® Body Lotion භාවිතය හේතුවෙන් සිදු වීමට ඉඩ ඇති ආසාත්මික ප්‍රතික්‍රියාවක් සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම්, ඒ බව පරීක්‍ෂා කිරීම සඳහා සරල ආසාත්මිකතා පරීක්‍ෂණයක් සිදු කිරීම වැදගත් වේ. මෙය සිදු කරනු ලබන්නේ Bio‑Oil® Body Lotion කුඩා ප්‍රමාණයක් යටි බාහුවේ ඇතුල් පැත්තේ ගල්වා පැය 24 ක කාලයක් තුළ යම් ප්‍රතික්‍රියාවක් සිදු වේ දැයි බැලීමෙනි. සමේ රතුවීමක් (එරිතිමාව) හෝ සුළු ඉදිමුමක් (එඩීමා) ඇතිවීම ආසාත්මික ප්‍රතික්‍රියාවක් ඇතිවීමේ හැකියාව පෙන්වන ලකුණක් විය හැක.

අනපේක්‍ෂිත ලෙස ශරීරගත වීම

Bio‑Oil® Body Lotion අනපේක්‍ෂිත ලෙස ශරීරගත වුවහොත්, එය විෂ රහිත නිෂ්පාදනයක් බැවින් ඔක්කාරය හා පාචනය වැනි තත්ත්වයන්ට අමතරව කිසිදු අහිතකර බලපෑමක් සිදුවීමේ හැකියාවක් නොමැත. කෙසේ නමුත්, විශේෂයෙන් එය අනපේක්‍ෂිත ලෙස අතදරුවකුගේ හෝ දරුවෙකුගේ ශරීරගත වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කරනු ලැබේ.

විවෘත කර තබාගත හැකි කාලය (PAO)

Bio‑Oil® Body Lotion විවෘත කර මාස 12ක් (PAO) තබාගත හැක. මෙම කාල සීමාව නිෂ්පාදනය විවෘත කිරීමෙන් පසු එය ආරක්‍ෂිතව සහ පාරිභෝගිකයාට කිසිදු හානියකින් තොරව භාවිත කළ හැකි කාලය යි.

නිෂ්පාදනය

Bio‑Oil® Body Lotion නිෂ්පාදන ක්‍රියාවලිය රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වන ISO 22716: 2007 ප්‍රමිතියෙහි හොඳ නිෂ්පාදන පිළිවෙත් (GMP) හා සම්බන්ධ අවශ්‍යතාවලට අනුකූලව සිදු කරනු ලබයි. Bio‑Oil® Body Lotion නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන සියලුම අමුද්‍රව්‍යවලට විශ්ලේෂණ සහතිකයක් (COA) ඇති අතර සියලුම ඇසුරුම් ද්‍රව්‍යවලට අනුකූලතා සහතිකයක් (COC) ඇත. තත්ත්ව පාලන පරීක්‍ෂණ සමත් වන තුරු කිසිදු අමුද්‍රව්‍යයක් හෝ ඇසුරුම් ද්‍රව්‍යයක් නිෂ්පාදන ක්‍රියාවලියට මුදා හරිනු නොලැබේ. මිශ්‍ර කරනු ලබන සෑම Bio‑Oil® Body Lotion කාණ්ඩයක් සඳහාම අනන්‍ය වූ කාණ්ඩ අංකයක් ඇත. කාණ්ඩයෙන් ලබාගත් නියැදියක් ගෙන රසායනාගාරය තුළ එහි පෙනුම, වර්ණය, ගන්ධය, වර්ණාවලි දීප්තමාන හැඳුනුම්, ඝනත්වය, දුස්ස්‍රාවිතාව සහ ක්‍ෂුද්‍රජීවී පරීක්‍ෂා සිදු කරනු ලබයි. නියැදිය වසර හතරක කාලයක් රඳවා තබා ගනු ලබයි. Bio‑Oil® Body Lotion පිරවීම සහ ඇසුරුම් කිරීම සිදු කරනු ලබන්නේ පාලිත උෂ්ණත්වයක් හා ආර්ද්‍රතාවක් ඇති පරිශ්‍රයක් තුළ යි. දූවිලි මගින් අපිරිසිදු වීම වැළැක්වීම සඳහා වාතය අධි කාර්යක්‍ෂම අංශුමය වායු (HEPA) පෙරහන් පද්ධතියක් හරහා ගමන් කරයි. නිෂ්පාදන දාමවල සේවය කරන සේවකයන් හිස්වැසුම්, මුහුණු ආවරණ, මූණත් පළිහ, අත්වැසුම්, කබා සහ පාවහන් ආවරණ පැළඳ සිටී. සාම්පල නියත කාල පරතරයකින් නිෂ්පාදන දාමයෙන් පිටතට ගෙන, තත්ත්ව පාලන දෙපාර්තමේන්තුව විසින් පූර්වෝපායක් ලෙස එහි ඇති අසාමාන්‍යතා දෝෂ පිලිබඳ පරීක්‍ෂා කර බලයි. නිෂ්පාදන බෝතලය, කඩදාසි පෙට්ටිය සහ ප්‍රවාහන පෙට්ටිය මත කාණ්ඩ අංකයක් මුද්‍රණය කරනු ලබන අතර, එක් එක් නිෂ්පාදිත කාණ්ඩයෙන් රැඳවුම් සාම්පලයක් ගෙන එය වසර හතරක කාලයක් රඳවා තබා ගනු ලබයි.

ගබඩා කිරීමට උපදෙස්

Bio‑Oil® Body Lotion ඍජු සූර්යාලෝකය නොවැටෙන සිසිල් ස්ථානයක ගබඩා කළ යුතු ය.

ප්‍රතිචක්‍රීකරණය

සියලුම Bio‑Oil® Body Lotion ඇසුරුම් (බෝතලය, මූඩිය සහ කඩදාසි පෙට්ටිය) ප්‍රතිචක්‍රීකරණය කළ හැක.

සහතිකකරණයන්

Bio‑Oil® Body Lotion හලාල් සහ කොෂර් සහතිකකරණයන් ලබා ඇත.

සතුන් භාවිතයෙන් පරීක්‍ෂා කර නැත

Bio‑Oil® Body Lotion සහ එහි අන්තර්ගත අමුද්‍රව්‍ය නිපදවනු ලබන්නේ රූපලාවණ්‍ය අරමුණු සඳහා සත්ව පරීක්‍ෂණ යොදා ගැනීමට අදාළ යුරෝපා සංගමයේ රෙගුලාසිවලට අනුකූලව යි. Bio‑Oil® Body Lotion හෝ එහි කිසිදු අමුද්‍රව්‍යයක් Bio‑Oil විසින් හෝ එහි අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් විසින් සතුන් භාවිතයෙන් පරීක්‍ෂා නොකරයි.

සත්ත්ව අමුද්‍රව්‍ය රහිතයි

Bio‑Oil® Body Lotion තුළ සත්ත්ව සම්භවයක් සහිත අමුද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ.

පෙනුම වෙනස් වීම

Bio‑Oil® Body Lotion තුළ දාස්පෙතියා සාරය සහ සගන්ධ තෙල් මෙන්ම විටමින් A පැල්මිටේට් අඩංගු වන අතර මෙම සංයෝග සියල්ල ආලෝක සංවේදී වේ. එබැවින් එය සූර්‍යාලෝකයට නිරාවරණය වීමෙන් කාලයත් සමග වර්ණය වෙනස් විය හැක. Bio‑Oil® Body Lotion ඍජු සූර්යාලෝකය නොවැටෙන ස්ථානයක ගබඩා කළ යුතු ය.

ඇසුරුම්කරණය

Bio‑Oil Body Lotion නිෂ්පාදනයේ රූපය